ඇඳ යට කූඹින් මරන්නැයි කියා භූමිතෙල් වත්කර ගිනි තැබීමට යාමේදී රෝගීව එක්තැන්ව සිටි 89 හැවිරිදි මවක ඇඳ මත පිලිස්සී මිය යැමේ සිද්ධියක් මීගමුව ගල්කටුව පාරේ නිවසකින් වාර්තාවී තිබේ.
තම මව කාලයක් තිස්සේ එක්තැන්ව නිවසේ ඇඳක සිටින බවත් මෑතක සිට අධික ලෙස කූඹින් බෝවී තිබීම නිසා ඇඳ අසළට යාමට ඒමට පවා අපහසු තත්වයක් පැවතිබවත් නිවසේ වාසය කළ 43 හැවිරිදි මුණුබුරු දන්වා තිබේ.
මෙම නිවසේ මව බලා කියාගෙන සිට ඇත්තේ මියගිය මවගේ 68 හැවිරිදි අවිවාහක දියණිය වන අතර මෙකී කූඹි බෝවීමේ ගැටලුවට පිළියමක් ලෙස ඇය ඇඳ ආසන්නයේ භූමිතෙල් වත්කර ගිනිතබා තිබේ.
මෙම ගින්න ඇයට පාලනය කරගන්නට බැරි ලෙස ව්‍යාප්තවී මවද පිලිස්සී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පිළිස්සුණ මව රෝහල් ගත කළනමුත් ජීවිතය බේරාගන්නට බැරිව ගොස් තිබේ.
මීගමුව ගල්කටුව පාරේ පදිංචිව සිටි දේවපුරගේ කරුණාවතී බ්‍රියටිස් නමැති 89 හැවිරිදි කාන්තාව මෙම සිද්ධිය නිසා අවාසනාවන්ත ලෙස මියගියාය.
දියණියන් දෙදෙනෙක් සහ එක් දියණියකගේ පුතා මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර අසනීප වී එක්තැන් වීම නිසා මියගිය මව කාලයක් තිස්සේ ඇවිදීමට නොහැකිව ඇද මත ජීවත්ව සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් 68 හැවිරිදි අවිවාහක දියණිය මීගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් පී.කුමාරනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළේය.
0 Comments