Pregnant Sri Lankan mother unexplained stillbirth in Dubai

කොරෝනා ආසාදිතව අතිශය දුර්වල මට්ටමක සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ඩුබායිහිදී සිදු කළ දරු ප්‍රසූතියෙන් පසු දරුවාටද අමාරුවී බාධාවන් රාශියකින් පසු දින 99 කට පසු දෙදෙනාම නිරෝගීව රෝහලින් පිටව යන්නට සමත්වූ බව ආශ්චර්යමත් සිදුවීමක් ලෙස නම් කරමින් අද දින මැදපෙරදිග පළවන ගල්ෆ් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.



අල් බර්ෂා හි මෙඩික්ලිනික් පාර්ක්වීව් නමැති පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ගේ කැපවීම හා මැදිහත් වීම නොවන්නට මේ ජීවිත දෙකම අනතුරේ පැවති බවද එහි දැක්වේ. ගැබිණි සමයේ බරපතල COVID-19 රෝගියෙකු බවට පත්වු ෆාතිමා ෂාෆා නමැති මවට වයස අවුරුදු 24 වූ අතර ඇය වෙන්ටිලේටර යන්ත්‍ර සවිකර වාතාශ්‍රය ලබා දී ජීවිතය සමඟ පොරබදමින් සිටියදී නියමිත දිනට සති කිහිපයකට පෙර දරු උපත සිදු කළාය. දරුවා උපත ලද පුවත  ඇය දැනගත්තේ සති දෙකකට පසුවය.
ග්‍රෑම් 600 කින් උපන් බිළිඳිය අයිසා ලෙස නම් කෙරිණි. ඇයව නොමේරූ ළඳරු ඒකකයේ දැඩි සත්කාරයේ තබා හැදී වැඩිණි. සති දෙකක් තුළ යහපත් සෞඛ්‍ය තත්වයට ඒමට මව සමත් වූවත් ඇයගේ දුවට දින 99 ක් දැඩි සත්කාර ඒකකයේ සිටීමට සිදු විය. නමුත් ඒ සියල්ල හොඳින් අවසන් වන්නේ කිලෝග්‍රෑම් 2.45 ක් බරැති කුඩා දරුවා මව සමග නිරෝගීව පිටව යාමට හැකිවීමෙනි.
ඔවුන් පසුගිය සඳුදා රෝහලින් නිදහස් වූ බව පුවත්පත වාර්තා කර තිබේ.‍ “අපි නරකම නපුරු හීනයක් දැක්කා ඒක හරිම භයංකරයි  දැන් එයින් ගැලවුණා ඒ ගැන ස්තූතියි මටත් අයිසාටත් ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට මං ණය ගැතියි ”ෆාතිමා ගල්ෆ් නිව්ස් වෙත පැවසුවාය.
ෆාතිමාගේ 33 හැවිරිදි සැමියා මොහොමඩ් සියාන්  කියා සිටියේ “අපි ශ්‍රී ලංකාවෙන් ඇවිත් 2012 වසරේ සිට ඩුබායි වල ඉන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් ඉඳන් අපේ පළමු දරුවා ලැබෙන්න හිටියේ නමුත් ජුනි මාසයේදී ඇය අසනීප වුණා. අපි මුහුදු වෙරළට ගොස් නැවත එන වෙලාවක අධික උණක් ඇති වුණා. එයාට හුස්ම ගන්න අමාරු වුනා. අපි රෝහලට ගිහාම වෛද්‍යවරයා දින පහක් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නා. නමුත් රෝග ලක්‍ෂණ වඩාත් නරක අතට හැරුණා අපි නැවත රෝහලට ගිය විට  ඇයව ඇතුළත් කළා. ”
ෆාතිමා පැවසුවේ පීසීආර් පරීක්‍ෂණයකින් ඇය කොවිඩ් -19 ධනාත්මක බව හෙළි වූ බවයි.


ඊළඟ දින කිහිපය තුළදී ඇගේ තත්ත්වය බරපතල වූ අතර, නිව්මෝනියා ලක්ෂණ ඇතිබව වෛද්‍යවරුන් පවසා ඇත.
දිගටම වාතාශ්‍රය ලබාදෙන යන්ත්‍රවල උදව් ඇය සඳහා ලබාගන්නා ලදි.
 “මේ අවස්ථාවේදී රෝහලින් මට කිව්වා හොඳ වාතාශ්‍රයක් අවශ්‍ය නිසා මාව වෙනත් රෝහලකට මාරු කරන්න
ECMO යන්ත්‍රයක් තියන එකකට යන්න කියල. ”
පසුව ෆාතිමා මෙඩික්ලිනික් පාක් වීව් වෙත මාරු කෙරිණි එක්මෝ යන්ත්‍රය ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති පෞද්ගලික රෝහල් වල පමණි.
ඇය ගැන සොයා බැලුවේ එරටේ ප්‍රකට වෛද්‍යවරයෙකි. ඔහු ජාතික වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ආචාර්ය මුදිත් කුමාර්ය.
මෙඩික්ලිනික් පාර්ක්වීව් රෝහලේ සේවය කරන ඔහු පැහැදිලි කළේ, “රෝගියා, හෘද රෝගයට ගොදුරු වී තිබුණා ඒවගේම වාතාශ්‍ර යන්ත්‍ර යොදමින් සිටියදී මෙහි ගෙන එනු ලැබුවේ ඇය සති 24 ගැබිනියකව සිටියදී. අප ඉදිරියේ තිබූ උභතෝකෝටිකය වූයේ අපි ඇගේ ගැබ් ගැනීම දිගු කළ යුතුද යන්නයි තවත් සතියක් ගැන හිතුවොත් දරුවාගේ පැවැත්මේ සම්භාවිතාව ඉහළ යනවා නැතහොත් ඕනෑම ප්‍රමාදයක් නිසා මවට අවදානමක් තියනවා. මේ දෙන්නම බේරගන්නයි උවමනා වුනේ. අපි තීරණය කළා දරුවා බේරගෙන ඉදිරියට යන්න නොමේරූ බව නිසා දරුවා ඉතා දුෂ්කර මට්ටමක හිටියෙ ඇගේ බර ග්‍රෑම් 600 ක් පමණයි. වාසනාවකට මෙන්, අලුත උපන් බිළිඳාගේ COVID-19 පරීක්‍ෂණය සෘණාත්මක වුණා.
ලොව පුරා දත්ත වලින් පෙන්නුම් කරන්නේ ළදරුවන්ගෙන් සියයට දෙකක් පමණක් මෙලෙස රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවයි. ඒ නිසා ඇත්තටම අපේ ඉදිරි කාර්ය පහසු වුණා.

කෙසේ වෙතත්, දරුවාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූණා. අපි ඒ ගැනත් සොයා බැලුවා.
මේ අතරේ ෆාතිමා යහපත් වෙන්න ගත්තා.. සති දෙකක් ඇතුළත ඇය නිදහස් කිරීමට හැකියාව ලැබුණා.
දරුවා සති හයක් ඔක්සිජන් ආධාරකයේ සිටි නිසා හොඳ දියුණුවක් ලබා ගත්තා. ඒ වන විට ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ නිසා ඇයගේ වර්ධනය හොඳින්  සිදුවුණා. මාස තුනකටත් වඩා ඇය රඳවාගන්න අපට සිදුවුණා.
 ඇගේ බර දැන් කිලෝග්‍රෑම් 2.45 ක්  - ඇගේ උපත් බර මෙන් හතර ගුණයක්. ”
සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තූති කරමින් ෆාතිමා සැමියා හා දරුවා රැගෙන රෝහලින් පිටව ගියාය.

(ගල්ෆ් නිවුස් ඇසුරිනි - gossiplankanews.com )