ශ්‍රී ලංකාවට ඉකුත් දින දෙකේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි 119 (ඩොලර් මිලියන 1,187) පමණ මුදලක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊයේ (30) පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ඇමෙරිකානු ඩොලර් කෝටි 79ක පමණ මුදලක් ද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගන්නා ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක්ද පෙරේදා (30) මෙරටට ලැබුණ බව ආටිගල මහතා සඳහන් කළේය. ඊට අමතරව චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 30ක්ද මෙරටට ඊයේ (31) ලැබුණු බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැකුව රුපියල් කෝටි 6150ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉකුත් දා (17) සඳහන් කළේය.
ඒ අනුව මෙරටට අදාළ ණය මුදල ලැබිණි. බංගලාදේශයෙන් මීට පෙර ඇමෙරිකා ඩොලර් කෝටි 5ක මුදලක් මුදල් හුවමාරු පහසුකම යටතේ මෙරටට ලැබිණි. සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 65 000ක මුදලක් මුදා හරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් සතියේ නිවේදනය කළේය. ඒ අනුව එම පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 79ක් පමණ වේ.
මෙම පහසුකම යටතේ ලැබෙන මුදල ප්රතිසංස්කරන්න ප්‍රමාද කිරීමට භාවිත නොකළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අවස්ථාවේ අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජ්වා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම පහසුකම විවෘත කරන බව ඉකුත් දා (23) සඳහන් කළාය.
0 Comments