ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින්, ඔන්ලයින් ගුරු වර්ජය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. සේවාවේ ගුණාත්මකභාවය, ගෞරවය, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාගැනීම සඳහා ආරම්භ කළ සටන රුපියල් 5,000කට ලඝු කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සූදානම් නැතැයි ද එම සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ ඊයේ (31) පැවසූහ.
මෙහිදී සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යන ලෙසටත්, එසේ කරනතුරු ඇමැති අනුකමිටුව යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබාදෙන ලෙසටත් ගුරු සංගම් ඉදිරිපත් කළ යෝජනා ගැන රජය කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවත්, ඒ ආකාරයේ විසඳුමක් ලැබෙන තුරු සටන ඉදිරියට ගෙන යන බවත් ඔවුහු සඳහන් කළහ.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පෙරේදා (30) ගත් තීන්දු සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දී ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ. එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසුවේ, තම ගැටලුව විසඳීමට බව කියමින් කැබිනට් මණ්ඩලය සම්මත කර, ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද යෝජනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. ගුරු-විදුහල්පති සංගම් ඉකුත් 26 වැනිදා නව අධ්‍යාපන ඇමැතිවරයා හමු වී ඇමැති අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනී කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙස යෝජනා කළ බවත්, ඇමැතිවරයා අනුකාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුව වෘත්තීය සමිතිවල ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම්, ඉල්ලීම් ලබාදෙන තුරු මේ වනවිට දින 51ක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වෙමින් ඉතා ශක්තිමත්ව කැපවීමෙන් ක්‍රියාත්මක කර ඇති අරගලය තවදුරටත් පෙරට ගෙන යාමට සිදුවන බව ද ඔහු කීවේය.
පිළිගන්නා විසඳුමක් අමාත්‍ය අනුකමිටුව හෝ ඇමැති සමඟ සාකච්ඡාවලින් නොලැබුණු නිසා, මේ ගැන කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ මුදල් ඇමැතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් පස් දෙනකු සකස් කළ සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද යන්න ගැටලුවක් බව ද ස්ටාලින් මහතා පැවැසීය. ගුරු-විදුහල්පතිවරුන් 2,60,000ක් එක්වූ ඉතිහාසයේ දැවැන්ත අරගලයක් වන මෙයට, ප්‍රායෝගික නොවන යෝජනා නොගෙනන ලෙස රජයට දැනුම් දෙන බව කී ස්ටාලින් මහතා, ඇමැති අනුකමිටුව යෝජනා කර ඇති රුපියල් 5,000 සිට 11,000ක් දක්වා වන වැටුප් වැඩි වීම කොටස් කර ගෙවීමෙන් ලැබෙන දෙයක් නැති බව ප්‍රකාශ කළේය. එබැවින් වැඩ කරන අයට පමණක් මසකට රුපියල් 5,000ක් දෙන බව කියා අරගලය මොට කරන්නට රජය ගෙනා යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කීය.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසුවේ, ගුරු වෘත්තීය සමිති 26 වැනිදා අධ්‍යාපන ඇමැති මුණගැසී සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යන ලෙසත්, එසේ කරන තුරු ඇමැති අනුකමිටුව යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබාදෙන ලෙසත් ඉල්ලූ නමුත් එය ක්‍රියාත්මක වී නැති බවය. පළමු පන්තියේ ගුරුවරයකුගේ වැටුප් විෂමතාව රුපියල් 31,225ක් වුවත්, අනුකමිටුව ඉදිරිපත් කළ රුපියල් 11,820ක වැඩි වීම 2022 අයවැයෙන් ලබාගැනීමට ගුරු සංගම් නම්‍යශීලී වීම දුර්වලකමක් කියා සිතනවා නම් ආණ්ඩුවට වැරැදී ඇතැයි ද ඔහු පැවැසීය.
මෙය මුදල් කුට්ටියක් වෙනුවෙන් කළ සටනක් නොව රටේ අධ්‍යාපනය රැක ගැනීමේ සටනක් නිසා කැරට් අලයක් පෙන්වා එය අඩපණ කරන්නට ඉඩ දිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා මැදිහත් වී විසඳුමක් ලබා නොදුනොත් තම වෘත්තීය ක්‍රියාමාර්ග අලුත් කරමින් සටන් කිරීම හැර වෙනත් මාවතක් නැතැයි ද ඔහු කීව්වේය. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාස්කර හිමියන් පැවැසුවේ, අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති, ගුරුවරුන්ට සැප්තැම්බර්, ඔක්තෝබර් මාසය සඳහා රුපියල් 5,000ක් ලබාදීම, අමාත්‍ය අනුකමිටු යෝජනා ලබන අයවැයේ දී සාකච්ඡා කර කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරිම, නොවැම්බරයේදී ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කිරීම යන තීන්දුවලින් තම ඉල්ලීම් ඉටුවී නොමැති බවය. සංවෘත සේවාවක් පිහිටුවීමේදී ගුරුවිදුහල්පතිවරුන්ට අධ්‍යාපන පරිපාලන සේවයට යාමට ඇති ඉඩකඩ හා විදුහල්පති සේවයට ගුරුවරු බඳවා ගැනීමේ ඉඩකඩ අහිමි නොකළ යුතු බව ද උන්වහන්සේ කීහ. සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කර එහි කොටසක් ලෙස අමාත්‍ය අනුකමිටු යෝජනාව ක්‍රියාත්මක කරන බවට වන චක්‍රලේඛය නිකුත් කරනතුරු වෘත්තීය ක්‍රියාමාර්ග බිඳක්වත් අත් නොහරින බව ද උන්වහන්සේ පැවැසූහ. ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
-ඩයනා උදයංගනී-
0 Comments