බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසක කොරෝනා රෝගයෙන් පෙළුණු බිරිය එම රෝගයෙන් මියගිය ආකාරයක් හැඟවෙන සේ හුස්ම හිරකර මරා ඇයට හිමි දේපළද පසුව රැගෙන අනියම් ජීවිතයකට යාමට සැලසුම් කළ සැමියෙකු එකී මරණය අවස්ථාවේ හැසිරුණ සැකසහිත ආකාරය නිසා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු බිරිය මරන්නට පෙර දිනයේ මල්ශාලාවක් අමතා මිනී පෙට්ටියක්ද වෙන් කරගෙන තිබූ බව පැවසේ.
47 වැනි වියේ පසුවන වාහන අමතර කොටස් විකිණීමේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු බව පැවසෙන මෙකී සැමියා හා 45 හැවිරිදි බිරියට අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියකද සිටින අතර ඔවුන් බොරලැස්ගමුවේ නිවසක පදිංචිව සිට තිබේ.


මෙම කාන්තාව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉකුත් 15 වැනි දින රාත්‍රී 10ට පමණ තමන්ගේ බිරිය නිදි යහන මතම මියගොස් සිටින බවට සැමියා ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී පවසා තිබේ.  මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා එම පවුලට සමීප ඇසුරක් පවත්වන්නෙකු වූ අතර ඔහු එය දැනගත් වහාම බොරලැස්ගමුවේ නිවසට පැමිණ පරීක්ෂාකර බලද්දී සොයුරිය කතාවක් නැතිව වැතිර සිටි අයුරු නිරීක්ෂණය වී තිබේ.
වැඩිදුර පරීක්ෂාවට රෝහලට රැගෙනයාමට ඔහු යෝජනා කර ඇති අතර කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල කරා ගෙන ගියද වෛද්‍යවරු දන්වා ඇත්තේ කාන්තාව ඒ වනවිටත් මියගොස් ඇති බවකි. පී.සී.ආර්. පරික්ෂණයක් සඳහා යොමු කිරීමේදී කාන්තාවට ඒවනවිටත් කොරෝනා රෝගය පවතින බවට වැඩිදුරටත් තහවුරු වී ඇත.
මේ හේතුවෙන් මෙය කොරෝනා ආශ්‍රිත මරණයක් වියහැකි බවට මූලික වශයෙන් සලකා තිබේ.
කෙසේ නමුත් මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විට හා රෝහලට ගිය පසුව ඇගේ සැමියා හැසිරුණ ආකාරය සැකකටයුතු බවට වැඩිමල් සොයුරාට පෙනී ගොස් තිබේ.
සැමියාගේ බෙල්ලේ සීරීම් තුවාලයක්ද තිබී ඇති අතර ඔහු එය නිතරම කොලරයෙන් වසා ගැනීමට ඇඳ සිටි කමිසය අල්ලමින් උත්සාහ කරන අයුරුද සොයුරාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
ඇතිවූ සැකය ගැන බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ජී. විජේරත්න මහතා හමුවී පවසා ඇති සොයුරා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද පොලිසියේ සිදු කර ඇත.


පොලිසිය ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්.එම්. සම්පත් සේතුංග මහතා දන්වා ඇත්තේ මෙම මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත සිදුව ඇති මරණයක් බවයි.

 මියගිය කාන්තාවගේ සැමියා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ඒ අනුව පොලිසිය කටයුතු කරන ලද අතර මුලදී නැහැ නැහැ කියූ සැමියා අනතුරුව ඇත්ත වමාරා තිබේ.
තම බිරිඳට කොරෝනා රෝගය වැළඳී සිටි නිසා කොවිඩ් රෝගයෙන් මියගිය බවට ඒත්තු ගැන්වීම සඳහා ගෙළ සිර කර මරණය සිදු කළ බව ඔහු පිලිගෙන තිබේ.

නිදී යහන මතම ඝාතනය කර ඇයගේ දේපළ ලබාගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා දීග කෑමට සැලසුම් කළ බව ඔහු පවසා ඇත.
බිරියගේ නාසය සිරකිරීමට තැත්කරද්දී ඇය දැඟලූ නිසා තම බෙල්ලේ සීරුම් තුවාලයක් ඇතිවූ බවද ඔහු පවසා ඇත.
 බිරිඳ ඝාතනය කිරිම සඳහා යොදා ගත් බව කියන කොට්ටයක් සහ ඇඳ ඇතිරිලි පිළිස්සීමට උත්සාහ කළ බවද ඔහු කියා තිබේ. මෙම සාක්ෂි ඔස්සේ අඩක් පිළිස්සී ගිය එකී ද්‍රව්‍ය නිවසේ තිබී පොලිසිය සොයාගන්නා ලදි.
බිරිඳගේ මරණයට පෙර මල් ශාලාවකට අවසන් කටයුතු සඳහා මුදල් පවා ගෙවා තිබූ මෙම සැමියා බිරිඳ රෝහල්ගත කර ඇති අවස්ථාවේ තම ව්‍යාපාර කටයුතු නොනවත්වා පවත්වාගෙන ගිය අයෙකු බවද පසුව හෙළි විය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් තිබුනේ බොරලැස්ගමුවේ පදිංචි කලනි යසින්තා මාපලගම නැමැති 45 හැවිරිදි දෙදරු මවකි.