The-maid-who-took-care-of-covid-infected-mother-with-a-salary-of-one-and-a-half-lakhs-has-killed-her-in-her-bedroom

රද්දොළුගම ප්‍රදේශයේ නිවසක කොරෝනා ආසාදනයවී සිටි 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරියක බලාකියා ගැනීම සඳහා පෞද්ගලික ආයතනයක සාත්තු සේවිකාවක යොදවා තිබියදී එකී සේවිකාව විසින් ගුරුවරියව නිදි යහනේදී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
මෙම මරණය කොරෝනා නිසා සිදුවූවක් ලෙස හැඟවීමට මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයිද සැක කෙරේ.
මියගිය විශ‍්‍රාමික ගුරුවරිය සහ වයස්ගත ඇගේ සැමියා රද්දොළුගම නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ  පුතු ඇමෙරිකාවේත් දුව මැදපෙරදිගත් සේවය කරමින් සිටින අයයි.
රෝගාතුරව පසුවන තම මව රැකබලා ගැනීමට සහ සාත්තු කිරීම සඳහා කටුනායක ප‍්‍රධාන පෙළේ සාත්තු සේවිකා ආයතනයකට මුදල් ගෙවා සේවිකාවක් ලබා ගෙන තිබූ අතර ආයතනය ඒ සඳහා රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් මසකට අයකර ඇත.

සාත්තු සේවිකාව වසරකට ආසන්න කලක් රෝගී ගුරුවරිය රැකබලා ගනිමින් එම නිවසේ ජීවත්ව ඇත. පසුගිය 19 දා අලූයම මියගිය කාන්තාවගේ දේහය සීතල වී ඇති බවට සාත්තු සේවිකාව නිවසේ සිටි වයෝවෘද්ධ සැමියා දැනුවත් කර ඇති අතර මීගමුව දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කර පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් සිටියාය.

මරණයට පත්ව ඇත්තේ රද්දොළුගම පදිංචිව සිටි ඩබ්ලිව්. ටී. සීතා මාලනී සිරිවර්ධන (80)  මහත්මියයි.
ඇයගේ මරණ පරීක්‍ෂණය සිදුකළ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරිජයන්ත වික‍්‍රමරත්න මහතා විසින් සිරුරේ තැනින් තැන වූ තුවාල සහ තුවාල කැළල් හේතුවෙන් එහි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සමහර ලප කැලැල් සාත්තු සේවිකාව විසින් විශ‍්‍රාමික ගුරුවරිය ඇගේ නිදිහයනේ බැඳ දැමීමෙන් ඇතිවූ තුවාල කැලැල් බවය.
මේ අතර මියයන අවස්ථාවේ ගුරුවරිය කොවිඩ් ආසාදිතයකු ලෙස සිටි බවටද තහවුරු වී ඇත.


විශේෂඥ නාමල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව විශ‍්‍රාමික ගුරුවරිය ගෙළ සිරකර ඝාතනය වීමක් සිදුව ඇතැයිද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය මගින් 19 දා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඇයව 20 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමසන් සිගේරා, සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසාද් සුබසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත රද්දොළුගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුවින්ටස් පෙරේරා මහතා විමර්ශන සිදු කළහ.