ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට එම රෝහලේ වෛද්‍යවරු ලබාදුන් එන්නතක් විෂ වීමෙන් ඔහු මියගියේ යැයි පවුලේ අය චෝදනා කරමින් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ.
රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසන්නේ පසුගිය 18 වැනිදා මෙම කොවිඩ් ආසාදිතයාට රැම්ඩිසිවර් (Remdesivir) නමැති ඖෂධය එන්නත් කිරීමෙන් විනාඩි කිහිපයකට පසු මියගිය බවය. මෙම රැම්ඩිසිවර් (Remdesivir) ඖෂධය කොවිඩ් ආසාදිත පුද්ගලයන්ට ලබාදෙන බවත්,

එය රුපියල් විසිදහසකට වඩා වැඩි මිලකින් යුතු ඖෂධයක් බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
‘අපි මේ පිළිබඳ මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කළා. මේක රෝහලේ වෛද්‍යවරුන්ගේ වරදක්. දැන් තාත්තා නෑ. අපිට කරුණා කරලා සාධාරණයක් ඉටු කරලා දෙන්න’’ යැයි මියගිය අයගේ දරුවෙක් පවසා තිබේ.
මීට පෙර ද මෙම ඖෂධය රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයන්ට ලබාදුන් බවත්, එම ආසාදිතයන්ට එය විෂ වීමක් සිදු නොවූ බවද විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ සඳහන් කළේය. කෙසේ වුවද මෙම මරණය සිදු වූයේ රැම්ඩිසිවර් (Remdesivir) ඖෂධය ආසාත්මික වීමෙන්ද, එසේත් නැතිනම් වෙනත් ඖෂධයක් ආසාත්මික වීමෙන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
මියගිය අයගේ පුතු මෙසේද කීය.
'13 වනදා රාත්‍රියේ තාත්තාට හුස්ම ගන්න අපහසුතාවයක් සහ ගැස්ට්‍රයිටීස් වැඩි වීම නිසා අපි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගියා. එතනදීරැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තාත්තා කොවිඩ් ආසාදිතයි කියලා හඳුනා ගත් නිසා එදින රාත්‍රියේම තාත්තාව කොවිඩ් ආසාදිත වාට්ටුවට ඇතුළත් කළා. 14, 15, 16 දවස් වල තාත්තා හොඳට අමාරුවක් නැතිව හිටියා. වාට්ටුවේ වෛද්‍යවරයාත් තාත්තාව පරික්ෂා කරල බලල කිව්වා තාත්තාට සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි තියෙන්නේ කියලා. හැබැයි ඒ අතරතුර තාත්තාට ගැස්ට්‍රයිටීස් අමාරුව තිබුණා. තාත්තා වකුගඩු රෝගියෙක්, දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග ලක්ෂණත් තිබුණා. අපි මේ සේරම රෝග ගැන රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන් දැනුවත් කර තිබුණේ. තාත්තා බොන බෙහෙත්, පරණ රෝග වාර්තා සියල්ලම වෛද්‍යවරුන්ට අපි ලබා දීලා තිබුනේ .

තාත්තා කොවිඩ් රෝගියෙක් නිසා සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරන යන්ත්‍ර වලින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි නිසා ඔහු පැවසුවා අපි බෙහෙත් කරලා බලමු කියලා. පසුව ලේ සහ මූත්‍රා පරීක්ෂණ කිහිපයක්ම සිදු කලා. ඒ වගේම එම ප්‍රධාන වෛද්‍යවරයා මගෙන් ඇහුවා එන්නතක් තියෙනවා ඒක පිටින් ගෙනත් දෙන්න පුලුවන් ද ඒක ලබා දුන්නොත් දින දෙකකින් වගේ මේ ලෙඩේ හොඳ වෙයි කියලා.

තාත්තාව සනීප කරගන්න තියෙන අවශ්‍යතාවය නිසාම මම කිව්ව මම දැන් වුණත් ඒක ගෙනත් දෙන්නම් කියලා. එතකොට ඔහු කියුවා මේ බෙහෙත ලංකාවේ පිට ෆාමසී වල නෑ මම වට්ස් ඇප් අංකයක් දෙන්නම් ඒකට කතා කරලා ගන්න කියලා. පසුව මම ඒකට කතා කරලා බෙහෙත ලියපු කොලේ වට්ස් ඇප් කරාම මට පැය භාගයක් වගේ ඇතුළත රෝහලටම බෙහෙත් ගෙනත් දුන්නා. මම ඒ වෙනුවෙන් රුපියල් 21000/= ගෙවුවා. ඒකේ බිල්පත් සියල්ල මගේ ගාව තියෙනවා. ඒ බෙහෙතේ කුප්පි 6ක් තිබුනා . පසුව එදින සවස සේලයින් බෝතලයක සේලයින් සමග ඒ බෙහෙත් තාත්තාට ලබා දුන්නා. ඒ සේලයින් බෝතලයේ මම මිලදී ගත්ත බෙහෙතේ නම සඳහන් කරලා තිබුනා.

ඒ සේලයින් බෝතලේ තාත්තා ගේ අතට සම්භන්ද කරලා තිබුණු කට්ටෙන් බිංදු දහයක් ගියේ නෑ තාත්තා දත්මිටි කාගෙන දඟලන්න ගත්තා. එතකොටම ඒ බෙහෙත ලබා දුන්න නර්ස් කෑගැහුවා ඇලජික් වෙලා ඇලජික් වෙලා කියලා. මුළු වාට්ටුවම ඒ වෙළේ කලබල වුනා. ඒ වෙළාවේ වෛද්‍යවරියන් දෙදෙනෙකු ඇවිත් තාත්තා ව පරීක්ෂා කළා. පසුව ප්‍රධාන වෛද්‍යවරයාත් ආව. ඔවුන් තාත්තාට හයිප්‍රෙශර් ඔක්සිජන් මාස්ක් එකක් දැම්මා. මම ඒ වෙලාවේ දැක්කා තාත්තා ගේ කටින් ලේ ගලනවා. තාත්තා නැගිටලා දඟලලා මාස්ක් එක අයින් කලා. පස්සේ එයාගේ කටින් රෝස පාටට දියරක් පිටවුනා. ඒත් එක්කම තාත්තා ඇඳට වැටුනා. එච්චරයි .”

අපි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද කරා. මේක රෝහලේ වෛද්‍යවරුන්ගේ වරදක්. දැන් තාත්තා නෑ. අපිට කරුණාකරලා සාදාරණයක් ඉටු කරලා දෙන්න.”

මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල මාවිත්තර පදිංචිව සිටි ව්‍යාපාරික එන්. ජී. සී. කේ. ගමගේ නමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.
මෙය කොවිඩ් ආසාදිත මරණයක් හේතුවෙන් දේහය ඥාතීන් වෙත භාරදී නැති අතර දේහය අද මඩකලපුවේදී භූමදානය කිරීමට නියමිතය.