Two-deaths-due-to-drunken-quarrels-after-opening-of-liquor-bars-55-injured-at-National-Hospital

පසුගිය සිකුරාදා සෙනසුරාදා හා ඉරිදා මත්පැන්හල් විවෘතව තැබුණ අතර තලකට පසු මත්පැන් හල් විවෘත වීම නිසා විශාල පිරිස් ඒවා පිපාසය නිවන්නට මෙන් පානය කර ඇති බව කොළඹින් වාර්තා විය. මත්පැන් අලෙවි සල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා පමණක් බීමත්ව ඇති කරගත් කලකෝලාහල නිසා තුවාල ලැබූවන් පනස්පස් දෙනකු (55) කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.



ඉන් පස්දෙනකු කාන්තාවන් වීමද විශේෂත්වයකි. ඇතැම් තුවාලකරුවන් අධික බීමත්කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙළණු බවත් ඇතැමුන්  රෝහලෙන් පැන යාමට උත්සාහ දරා තිබෙන බවද වාර්තා විය. ඉරිදා දිනයේදී පමණක් රෝගීන් 175 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඉන් 55 ක් බීමතින් සිටි පුද්ගලයන් වීම සහ ගැටුම් වැඩිවීම සැලකිය යුතු වර්ධනයක් බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු දන්වා සිටියහ.
බොරැල්ල ප්‍රදේශයේ ගැටුමකින් පුද්ගලයකුගේ පිටට පිහියෙන් ඇණ තිබූ අතර එම පිහිය සහිතවම ඔහු රෝහල්ගත වී තිබේ. පුරුෂ පක්ෂය බීමත්ව කාන්තාවන් සමග ගැටුම් ඇති කර ගැනීමද වැඩි වී ඇති බව පොලිසිය පවසයි. බීමත්ව සිදුකරන හිරිහැර ඉවසාගත නොහැකිව පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන් අතින් මියයාමේ සිදුවීමක්ද වාර්තාවී තිබේ. ඒ අවිස්සාවේල්ල දයිගල ප්‍රදේශයේ සහ යාපනය අරියාලේ ප්‍රදේශවලදීය.