කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුර හොර රහසේම මිහිදන් කර දින දෙකක් තුළ එම නිවසේ මරණ දෙකක් වාර්තාවීමේ සිද්ධියක් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම පවුලේ ගෘහමූලිකයා වූ 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නමැති අය හදිසියේම ඉකුත් 4 වැනිදා මියගොස් ඇති අතර ඔහු ප්‍රතිකාර ලබාගත් පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරියා දැනුවත් කර සිරුර වෙප්පමඩුව මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කර ඇති බවත් කියැවේ. එම කිසිවෙකු මේ කාලයේ පවතින වසංගත තත්වය ගැන පරීක්ෂාවක් සිදු කරන්නයට උපදෙස් ලබාදී නැත.
කෙසේ හෝ එලෙස සැමියා මිහිදන් කර දින දෙකකට පසු ඉකුත් 6 වැනිදා එකවරම අසාධ්‍ය දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් කොවිඩ් ආසාදිත බව සනාථ වී තිබූ  අතර ඇය පැය කිපයකින් මරණයට පත්ව ඇත.

දියණිය මරණයට පත්වී පැය කිහිපයක් යාමටත් පෙර 51 හැවිරිදි ඇගේ මව ද නිවෙසේ ඇද වැටී සිහිසුන්ව සිටියදී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති මුත්, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබේ.
පුත්තලම -මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජිබා හා ඇගේ දියණිය බව කියන 37 හැවිරිදි ෆාතිමා සහානා නමැති දෙන්නා මෙලෙස මියගියහ.
 එකම නිවෙසේ පදිංචිව සිටි සැමියා බිරිය හා දියණිය කොවිඩ් ආසාදනයවී තිබුණත් අවසන් මොහොත වනතුරු ඒ සම්බන්ධයෙනක් ක්‍රියාත්මක නොවීම ගැටලුකාරී වී තිබේ.
මේ  සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මුලින් මියගිය තැනැත්තාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීති මත සිදුකර නැත.
කෙසේ වෙතත් පසුව ලැබුණ ආරංචි අනුව මෙම කාන්තාවට පුත්තලම මූලික රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසුව සනාථ වී ඇත්තේ ඇය  කොවිඩ් ආසාදිතව සිට ඇති බවයි. නමුත් ඇය ඉදිරි පියවර සඳහා යොමුවී නැත.



 මෙසේ කොවිඩ් ආසාදිතව මරණයට පත්වූ මව හා  දියණියගේ සිරුරු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිසිවෙකු දැනුවත් නොකරමින් භූමදානය කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කර, නැවත දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව  පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා පැවැසුවේ, මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි.  කොරෝනා මරණ සිදු වූ නිවෙසේ පදිංචිව සිටි වයස අවුරුදු තුනක දරුවකු ඇතුළු හය දෙනකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව ද ඔහු පැවැසීය.  
 නිවෙසේදී මරණයට පත්වූ ගෘහමූලිකයාගේ සිරුර භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බව කියන මනතිව් ග්‍රාම නිලධාරිවරයාද ප්‍රකාශයක් ලබාදී ඇත.