අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර දෙතැනක පැවති සාදවලදී ඇතිවූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන් එක් පාර්ශවයක තරුණයකු පිහි පහරකට ලක්ව ඊයේ (1) මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම, කලුවාමෝදර දේවාල පාරේ පදිංචිව සිටි ධම්මික ලක්ෂාන් (24) අවිවාහක තරුණයෙකු බව කියයි. මියගොස් සිටින තරුණයා මිතුරන් කීපදෙනෙකු සමග ඉකුත් 28 දින රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම වයසේම තවත් මිතුරන් පිරිසක් වෙනත් තැනක සාදයක් පවත්වා තිබෙන බවත් දෙතැනක පැවැති සාද අතරතුර මියගිය තැනැත්තා හා අනිත් පාර්ශවයේ තරුණයෙකු අතර ඇති වූ බව කියන දුරකතන සංවාදය ආරවුලක් දක්වා දුරදිග ගොස් පසුව එදින රාත්‍රි 11ට පමණ දෙපාර්ශ්වය අලුත්ගම පූර්වාරාම පාරේ දී හමුවී ඇතිවූ ආරවුල පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.
එහිදී පිහි පාරට ලක් වූ තරුණයා මිතුරන් සමග ගොස් ආසන්න පිහිටි රෝහලෙන් සැබෑ තත්වය වසන් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් මිතුරන් සමග රැය පහන්කර ඇති බවත් පසුදින එනම් 29 දින දර්ගා නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් එම තුවාලයට බෙහෙත් දමා ගෙන සිට ඇති අතර පසුව පිහි පාරට ලක්වූ තරුණයාගේ තත්වය උත්සන්න වීමෙන් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබෙන බවත් එහිදී මෙම තරුණයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
උසස් පොලිස් නිලධාරියකු සදහන් කළේ පිහි ඇනුමට ලක්වූ තරුණයාගේ සැබෑ තත්වය වසන් කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඉඩ ඇති බවයි. මෙම පිහි ඇනුමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගොස් සැඟව සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධ දෙපාර්ශ්වයේ තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බවත් පොලිසිය කියයි.
- තුසිත කුමාර ද සිල්වා -
0 Comments