anamaduwa-incident

ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පෙරේදා (19 වැනි) රාත්‍රියේ වෑන් රථයක ගැටී අනතුරට ලක්වූ තිදරු පියකු අනතුර සිදුකළ වෑන් රථයේම රෝහල් ගත කරන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා පලා යාමේ සිදුවීමක් වාර්තා විය.
ඉන් පසු අසාධ්‍ය තත්වයේ සිටි තුවාලකරු සොයාගෙන සැකකරුවන් හා වෑන් රථය ද අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හන්දිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වූ සරත් බණ්ඩාර අතපත්තු නමැති යුද හමුදා විශ්‍රාමිකයකි.
මොහු පා ගමනින් කුඹුරට ගොස් පෙරේදා (19 වැනිදා) සවස ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටී ඇති අතර අනතුරත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට එක්වීමෙන් පසු කලබලයට පත්වූ වෑන් රථයේ පිරිස තුවාලකරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් බාරදෙන බව පවසා වෑන් රථයේම දමාගෙන ගොස් තිබේ.

එහෙත් පවුලේ ඥාතීන් පුත්තලම රෝහලට ගොස් සොයා බලන විට තුවාලකරු රෝහලට පැමිණ තිබී නැත.
මේ හේතුවෙන් පුත්තලම හා ආණමඩුව රෝහල් දැනුවත් කර සොයා බලා පොලිස් නිලධාරින් එම තැනැත්තා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නමුත් සොයා ගැනීමට නොහැකිව තිබේ.
 අනතුර සිදුවූ ස්ථානයේ සිටි කාන්තාවක මෙම වෑන් රථයේ ඡායාරූපයක් තම ජංගම දුරකතනයට ලබාගෙන තිබීම නිසා පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනතුරට සම්බන්ධ වාහනය පිළිබඳව තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා  වෑන් රථය පුත්තලම නගරයේ පුද්ගලයකුට අයත් බව හඳුනාගෙන තිබේ.
වෑන් රථය නිවසේ  තිබියදී සොයා ගත් නමුත් වාහන හිමිකරු පවසා ඇත්තේ තමන් මෙම වාහනය කුලී පදනමට පුත්තලමේ අයකුට ලබාදුන් නමුත් එම පුද්ගලයා අනතුරක් සිදු කළ බවට දන්වා වාහනය පසු දින අලුත්වැඩියා කරදීමේ පොරොන්දු මත පිටව ගිය බවයි.
අනතුරුව පොලිස් කණ්ඩායම් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරු දමා ආ ස්ථානය සොයා ගෙන ඇත්තේ එකී අය ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
ඒවනවිටත් කැලෑවක වැටී සිටි තුවාලකරු දැඩි ලෙස අසාධ්‍යව සැකකරුවන් දමා ගිය ස්ථානයේම අසරණව සිට තිබේ.


පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර ිතබේ. අනතුර සිදුකළ වෑන් රථයේ රියැදුරු, වෑන් රථයේ හිමිකරු සමග සැකකරුවන් සිව් දෙනකු පොලිස් පරීක්ෂණවලින් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)