arachchikattuwa-incident

පියකු විසින් දෙන ලද දඬුවමකට බියෙන් දරුවකු බෙල්ලේ රෙදිපටක් ලාගෙන එල්ලීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා පෙරේදා 19 වැනිදා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බෝපත්ගම සිව්දරු පියෙකි. රෙදි පටියකින් එල්ලී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ දරුවකු වන දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බව පොලිසිය සඳහන් කරයි. දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

අගතියට පත් දරුවා පවුලේ තුන්වැනියා වන අතර ඊට වැඩිමහල් අක්කා කෙනෙකුත් අයියා කෙනෙකුත් සහ බාල මල්ලි කෙනෙකුත් ඔහුට ඇති බව දරුවාගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදී තම බිරියට, ඔහුගේ මවට සහ දරුවන්ට නිතර බීමතින් හිරිහැර ගුටිබැට දෙන බවට චෝදනා කරන කරන සැකකරුගේ මව පවසන්නේ ඔහුට ඇති අධික බිය හේතුවෙන් මේ පිළිබඳ කිසිවකුටත් නොකියා ඇති බවයි. මීට දින දෙකකට පෙර දරුවා ගම් බෝතලයක් ගෙන යමක් ඇලෙව්වාය පවසා මුහුණට ගසමින් දඬුවම් කර ඇති අතර සිද්ධිය සිදු වූ 18 වැනිදා හාවන්ට කෑමට උදුපියලිය නොදැමූ බවට චෝදනා කරමින් සිට සිය පියා නිවෙසින් පිටව ගිය වහාම මෙම දරුවා නිවෙසේ පරාලයක රෙදි පටකින් එල්ලී ඇති බවට නිවැසියන් පොලිසියට ලබා දුන් කටඋත්තරවල සඳහන් වේ.

මෙම සිද්ධිය දුටු අට හැවිරිදි බාලම සොහොයුරාගේ කෑගැසීම නිසා ඔහුගේ 15 හැවිරිදි සොයුරිය තම සොයුරා ඉන් ගලවාගෙන ඇති අතර ඒ වනවිටත් සිහිසුන්ව උන් දරුවා ප්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. මෙම දරුවාට නැවතත් දඬුවම් කරාවි යන බියෙන් මෙසේ සියදිවි නසා ගැනීමට තැත්කර ඇතැයි ද පොලිසිය සැක කරයි.සිද්ධියෙන් පසු සැඟව සිටි පියා ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ආරච්චිකට්ටුව - ලලිත් නවරත්න)