වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ගමනක් යා හැකි බවත්, ක්‍රීඩකයන් ඉතා හොද අවබෝධයකින් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක දසුන් ශානක පැවසීය. 

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු 07දා රාත්‍රියේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් දසුන් මේ බව පවසා සිටියේය.මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මහේෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවීමේදී නායකයෙක් ලෙස තමන්ට අවදානමක් ගැනීමට සිදු වූ බවයි. නමුත් එම අවදානම කණ්ඩායමට දැවැන්ත වාසියක් වූ බව හෙතෙම පැවසීය. තරගය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ දසුන්, "එක් එක් ක්‍රීඩකයාට තම තමන්ගේ උපරීම දක්‍ෂතා කණ්ඩායම වෙනුවෙන් ලබාදිය හැකිනම් අපට ඉදිරියට යන්න පුළුවන්. පුහුණුවීම්වලදී ගොඩක් දේවල් කළ යුතුයි. කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකුට තමන්ගේ අදහස් කියන්න පුළුවන්. ඒ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් හදලා තියෙන්නේ. ඒ නිසා මට ක්‍රීඩකයන්ගෙන් යම් දෙයක් දැනගන්න තිබෙනවා නම්, ඒ දේ මම ගන්නවා. කෙසේ නමුත් පිතිකරුවෙක් ලෙස මම කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබාදෙන්න උත්සාහ කරනවා. නිදහසට කාරණාවක් නොවුණත්, මම ලැබූ අත්දැකීම් අනුව පිතිකරුවෙකු ලෙස ක්‍රිඩාකර තිබෙන්නේ සුළු තරග ප්‍රමාණයක්. නමුත් මම විතරක් නෙමෙයි, වත්මන් කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයන් අසාර්ථක වෙන්න පුළුවන්.

ඒ  වගේම නැවත නැගී සිටින්න පුළුවන්. තරගාවලියක් අසාර්ථක වුණා කියලා ක්‍රීඩකයෙකුගේ දක්‍ෂතා මැනීම නොකළ යුතු දෙයක්. චරිත් අසලංක ඊට හොදම උදාහරණයක්.

ඔහු නිමා වූ එංගලන්ත තරගාවලියේ අසාර්ථක වූ ක්‍රීඩකයෙක්. එහෙම කියලා අපි එයාව එළියේ තිබ්බානම්  අද ඔහුගේ දක්ෂතා දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒනිසා මම දකින්නේ වත්මන් කණ්ඩායමට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි තරග දිනන්න පුළුවන්, තරග පරදින්න පුළුවන්. නමුත් මේ කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩායමක්. සියලු දෙනාට හොඳ අවබෝධයක් තිබෙනවා කරන්න ඕන හරී දේ ගැන. කණ්ඩායමේ දක්ෂතා ඉස්මතු වෙන්න කණ්ඩායම් පරිසරය ඉතා වැදගත්. දක්‍ෂ ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ඔහු පාසල් ක්‍රීඩකයෙක් වුවත්, ඔහුට අවස්ථාව ලබාදෙන්න ඕන. ඒ දේ අනුව තමයි අවසන් එක්දින තරගයට මහේෂ් තීක්ෂණ ගෙනාවේ මට හිතුණා මහේෂ් වගේ පන්දු යවන්නෙක්ට මුහුණදෙන්න දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට අපහසු වෙයි කියලා.

නායකයෙක් ලෙස මම ඒ අවදානම ගත්තා. අවසානයේ එම අවදානයම ලොකු වාසියක් වුණා” යැයි පැවසීය.


මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදය පිළිබද මෙහිදී දසුන්ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් ඔහු, "සාමාන්‍යයෙන් තරගයක් අතරතුරේදී ඒ ඒ තැනදී අවශ්‍ය විදිහට පන්දු යවන්නෝ යොදාගන්න සිදුවෙනවා. ඒ නිසා තරගය අතරතුරේදී පන්දු යවන්නෝ යොමුකරන පන්දුවාර සංඛ්‍යාව එක් එක් අවස්ථාවට යොදාගන්නා ආකාරයක් හදාගෙන ඉන්නේ. යොමුකරන පන්දුවාර ටික හදපුවාම, චාමිකට එක් පන්දුවාරයයි යොමුකරන්න වුණේ. අපි කතා වුණා දුෂ්මන්ත චමීරට පන්දුවාර දෙකක් දෙන්න. ඒ අනුව අවසන් පන්දුවාර කිහිපයේදී අපි කිව්වා චාමිකට එක් පන්දුවාරය යොමුකරන්න වෙන්නේ කියලා. ඒ කියන දර්ශනය තමයි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්නේ” යයි පැවසීය.

(සංජීව ධර්මසේන)