Police Intelligence investigates hospital employees who exploit covid19 body

කොවිඩ්  ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන්ට රෝහල් මෘත  ශරීරාගාරයෙන් ලබා දීමට අල්ලස් වශයෙන් දහස් ගණන් මුදල් ඉල්ලන මෙරට ප්‍රධාන පෙළේ රෝහල සෞඛ්‍ය සේවකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. 

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවක මෙම  සිද්ධිය වාර්තා වී ඇති අතර, රෝහල් මෘත ශරීරාගාරවල සේවකයන් මෙම ක්‍රියාව සිදුකරන බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙම කරුණු අනාවරණය වී ඇතැයි  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.




පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ කෝවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන් බාර ගැනීමට යාමේ දී එහි සිටි සේවකයකු සිරුර මුදා හැරීම සඳහා රුපියල් පහළොස් දහසක මුදලක් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද විමර්ශනයක් අරඹා ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.  පානදුර රෝහලේ මෙම සෞඛ්‍ය සේවකයා අදාළ දේහය ආදාහනය සඳහා ආදාහනාගාරයට රුපියල් 7500ක් සහ දේහය මුදා හැරීමට 5000ක් වශයෙන් මුදල් ඉල්ලා ඇති බවත් පසුව, ඥාතීන් එම ආදාහනාගාරයට ගොස් ඒ පිළිබඳව විමසීමේ දී දේහයක් ආදාහනය සඳහා මුදල් ලබා  නොගන්නා බවට ඔවුන්ට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.



ඒ අනුව එම පිරිස රෝහල් අධ්‍යක්ෂවරයාට මේ බව දන්වා ඇති අතර පසුව බුද්ධි අංශවලින් සොයාගත් තොරතුරු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

පානදුර රෝහලේ අදාළ සේවකයා වෙනත් ස්ථානයකට මාරු කර යැවීමට පියවර ගන්නා බවට රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප, පානදුර මූලික  රෝහලේ අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත්  අතර, කාර්ය බහුලත්වය හේතුවෙන් පිළිතුරු දිය නොහැකි බවට ඔහු සඳහන් කළේය.


 -නිමන්ති රණසිංහ-