රිය අනතුරකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ මෘත දේහය ප්‍රදේශවාසී තරුණ පිරිසක් බාරගෙන අවසන් කටයුතු කළ පුවතක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තා වේ.   පිටිගල මනම්පිට පදිංචි බන්දුගේ පියුම් දිල්ෂාන් (25) පසුගිය දිනෙක පිටිගල පැලවත්ත මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි කැබ් රථයක් සමග ගැටී අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබූ පසු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.  කුලී වැඩ කරමින්

මානම්පිට ප්‍රදේශයේ කුලී නිවෙසක තනිව පදිංචිව සිටි දිල්ෂාන් රෝහල් ගතව සිටියදී ඥාතීන් යැයි කියන අයවලුන්  රෝගියා බැලීමට පැමිණ තිබුණේ එක් වරක් පමණි. දිල්ශාන් ප්‍රදේශවාසීන්ට සමග කුළුපගව සිටීම නිසා ප්‍රදේශයේ තරුණ පිරිස නිතර ඔහු පිළිබඳව සොයා බැලූහ.  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියා මිය ගියේය.

මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටියදී ඥාතීහු දේහය භාර  ගැනීමට අකමැති බව ප්‍රකාශ කළහ. එම ප්‍රකාශයෙන් කම්පිත වූ ප්‍රදේශයේ තරුණ පිරිස දේහය භාරගෙන අවසන් කටයුතු කිරීමට ඉදිරිපත් වූහ. මෘත දේහය තැබීමට ස්ථානයක් සොයා ගැනීම ගැටලුවක් වූ අවස්ථාවේ පිටිගල මනම්පිට ජනශක්ති විහාරස්ථානයේ දේහය තබා අවසන් කටයුතු කිරීමට විහාරාධිපති හිමියෝ අවසර දුන්හ. දිල්ෂාන්ගේ අවසන් කටයුතු පිටිගල පොදු සුසාන භූමියේ දී සිදු කළේය.

-ඩී.ජේ. විජේසිංහ-