වසර දහනවයකට පෙර තම බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහාධිරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු අධිකරණය මගහැර වෙනත් නමකින් කාන්තාවන් තිදෙනකු විවාහ කරගෙන සිටියදී පෙරේදා (06) සවස අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ලියන්ගහවෙළ පදිංචිව සිට පසුව දිවුලපිටිය, කඩවල, කටාන පදිංචිව සිටි යුද හමුදාවෙන් පැන සිටි බව කියන සෙබළකු වන ඒ.බී.එම්. කපිල ප්රීතිබණ්ඩාර ධර්මසිරි 48 හැවිරිදි පුද්ගලයෙකි.
2002 මැයි 14 දින රාත්‍රි තම නිවෙසේදී බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර සැකකරු ප්‍රදේශය මගහැර සිටියදී බදුල්ල මහාධිකරණයේදී ඒකපාර්ශ්විකව පැවැත්වූ නඩු විභාගයෙන් 2012 මාර්තු 29 දින සැකකරු වැරදිකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා 2009 වසරේදී ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවකට අධිකරණයෙන් වැරදිකරු වී කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී එයින් පලාගොස් තිබෙන බවත් පොලිසිය කියයි. සැකකරු වසර දහනවයක කාලයක් තිස්සේ පොලිසිය මග හරිමින් ඒ.එම්. කපිල බණ්ඩාර යනුවෙන් ව්‍යාජ නමක් හා ජාතික හැඳුනුම්පතක් සකස්කරගෙන කිහිපවරක්ම විදේශගතව සිට පසුව පැමිණ සීදුව, කුරුණෑගල, වවුනියාව ප්‍රදේශවලින් කාන්තාවන් තිදෙනකු විවාහ කර ගනිමින් තැනින් තැන පවුල් ජීවිත ගතකරන අතරතුර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු දිවුලපිටිය, කඩවල, කටාන ප්‍රදේශයේ නිවෙසක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
-ප්‍රසන්න පත්මසිරි-
0 Comments