covid infected mother gives birth to triplets in Puttalam

සාර්ථක සීසේරියන් සැත්කමකින් පසුව  සති 06 කට පෙර කොවිඩ් ආසාදිතව සිටි ගැබිනි මවක් තුන් නිවුන් දරුවන් බිහි කළ බව පුත්තලම මූලික රෝහල පවසයි.  පිරිමි දරුවන් එක් අයකු හා ගැහැනු  දරුවන් දෙදෙනකු බිහි කළ පුත්තලම කිවුල ප්‍රදේශයේ පදිංචි සමන් සඳරුවන් හා චකිලා මදුවන්ති රාජපක්ෂ යුවළ මෙම නිවුන් දරුවන් තිදෙනාගේ මවුපියන්ය. 



මෙම දරුවන් තිදෙනා මෙලොවට බිහිකිරීමේ කාර්ය භාරයේ දී පුත්තලම  මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී. වලිසුන්දර මහතා විශේෂ අවධානයකින් කටයුතු කර තිබේ. ඔහුගේ උපදෙස් පරිදි මෙම මව ගැබිනි කාලයේ කටයුතු කර ඇති අතර කොවිඩ් රෝගී තත්ත්වය හමුවේ ද පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා උපදෙස් ලබාගෙන තිබේ.


ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්. එම්.ඒ.පී.බී. වලිසුන්දර මහතා හා පුත්තල  මූලික රෝහලේ නිර්වින්දන විශේෂ  වෛද්‍ය අයි.පී. අලහකොන්, වෛද්‍ය ටයිනී ඇන්තනී, වෛද්‍ය ආර්.එම්. නුසාහා හා ශල්‍යාගාර හෙදි සොයුරිය ආර්.එම්. පී. රත්නායක මහත්මිය ඇතුළු රෝහල්  සේවක පිරිස මෙම දරුවන් තිදෙනා කිසිදු කරදරයකින් තොරව මෙලොව එළිය ලබා දීමට ශක්තිය ලබා දුන්හ. දරුවන් තිදෙනා ඉතා නිරෝගීව පසුවන බවයි වෛද්‍යවරු පැවසුවේ.


  එච්. චන්දන