Chathurika-a-Sri-Lankan-beautician-who-mysteriously-died-in-Malaysia

මැලේසියාවේ රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ජීවිතය අහිමිවූ 30 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් සැකසහිත තත්වයක් වාර්තාවී තිබේ. ඇයගේ මරණය සියදිවිනසාගැනීමක් ලෙස මෙරට සිටින ඥාතීන්ට දන්වා තිබූ නමුත් ඒ ආකාරයට ඇයට මරණයට පත්වන්නට හේතුවක් තිබී නැති බව ඥාතීන්ගේ මතයයි.
බේරුවල ගල්හේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකුගේ මවක වන චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වා මේ ආකාරයට මියගොස් තිබේ. වසර දහයක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය අංශයේ ඇය රැකියාව කර තිබෙන අතර මැලේසියාවට ගොස් ඇත්තේ මීට වසර එකහමාරකට පමණ පෙර 2020 මුලදීය. නමුත් ඇය කල් ඇතිව සූදානම් කරගෙන ගිය රැකියා ස්ථානය මාස 2 ක් යද්දීම  කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන නිසා ඇය රැකියාවක් නැතිව එහිදී අතරමංවී තිබේ.

මේ අවස්ථාවේ ඇය නැවත සියරටට පැමිණීමට හෝ වෙනත් රැකියාවක් සොයාගැනීමට විකල්ප තිබී ඇති අතර ඇයගේ අරමුණ වී ඇත්තේ ලැබුණ වීසා අනුව එරට රැඳීසිට තවදුරටත් මුදල් ඉපැයිය හැකි රැකියාවකට යාමටය.
මේ අවස්ථාවේ ඇය එරට ගිය මුල් දිනවලම දැන හඳුනාගත් ශ්‍රී ලාංකික තරුණයෙකු ඇයට උදව් කළ බව ඥාතීන්ද දන්වා තිබේ. ඒ අනුව ඇය නවාතැනක රැඳී සිටිමින් වෙනත් රැකියා ස්ථානයක කටයුතු කරමින් සිට ඇති අතර පසුගිය මස අගෝස්තු 24 වැනිදා මැලේසියාවෙන් ඇගේ දෙමාපියන් වෙත පණිවිඩයක් ලැබී ඇත්තේ ඇය නවාතැනේ මියගොස් සිටියදී සොයාගත් බවටය.

ඇගේ මරණය සියදිවිනසාගැනීමක් බවත් එම පණිවිඩයේ දන්වා ඇත. මෙම ආරංචිය දෙමාපියන්ට විශ්වාස කරන්නට බැරිව ගොස් ඇත්තේ ඇය අවසන් මොහොත වනතුරුත් ඔවුන් සමග හොඳින් කතාකරමින් කිසිදු ගැටලුකාරී තත්වයක් ගැන සඳහනක් හෝ නොකර සිටි නිසාය. ඇයගේ දරුවන් දෙන්නාද දෙමාපියන් භාරයේ සිටි අතර දෙමාපියන් හා දරුවන් සමගද ඇය අන්තර්ජාලය ඔස්සේ ඉතා හොඳින් කතාබහ කරමින් සිට තිබේ. ඇය හදිසියේ දිවිනසාගත්තේය යන ආරංචිය මේ හේතුවෙන් දෙමාපියන් හා ඥාතීන්ට සැකමුසු කාරණාවක් බවට පත්විය.


කාන්තාවගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස  එරටට දැනුම් දී ඇත.
මියගිය චතුරිකාට වයස අවුරුදු දහතුනක දියණියක සහ අවුරුදු දහයක පුතකුද සිටී.