bulathsinhala-hospital-death-young-girl

බුලත්සිංහල අතුර රජයේ රෝහලේ කොරෝනා භීතියෙන් තැති ගත් සේවිකාවන් නිසා අසරණ රෝගීන්ගේ මරණ සිදුවන බවට චෝදනා කරමින් 200 කට අධික පිරිසක් උද්ඝෝෂණයක නිරතවී ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධියට ආසන්න හේතුව මිල්ල කන්ද වත්තේ පදිංචි 18 වියැති ආර්. දිල්රුක්ෂි නමැති තරුණියක මිය යෑමයි.
ඥාතීන් හා හිතවතුන් රෝහලේ මිදුලට රැස්ව මහ හඬින් මේ නිසා විරෝධය පළ කර තිබේ. තරුණියගේ මව
වන එම්. පෝති (46) මහත්මිය මෙසේ කීවාය.
”දුව ටිකක් මහතයි එයාට සෙම තියනවා.

දුව හදිසියේම ලෙඩ වෙලා පපුවේ සෙම් රෝගය මතු වෙලා රාගම රෝහලට අරන් ගිහින් සෙම රෝගයට ප‍්‍රතිකාර කළා. රාගම රෝහලේ දී තමයි රෝගය පරීක්ෂා කොට හදුනාගෙන තිබුනේ. ලෙඩේ පාලනය වුනාට පසුව  දුව  ජුලි 04 දින නිවසට ආවා. 22 දින දුවගේ ලෙඩේ ආයිත් මතු වුණා. අපි දුව අතුර රෝහලට අරන් ගියා.රෝහලේ සේවිකාවෝ කොරෝනා ඇතැයි කියමින් ඒ නිසා දුව භාර ගැනීමට ප‍්‍රමාද කළා. කොරෝනා බෝ කරලා අපිවත් ලෙඩ කරන්නද? හදන්නේ කියලා බැණ වැදුනා.
අපි දුප්පත් අසරණ කම්කරුවෝයි. අපට කියන්න කෙනෙක් නෑ ඉවසං හිටියා.
පරක්කු වෙන කොට දුවගේ ලෙඩෙත් වැඩි වුණා. අනේ මගේ පපුව රිදෙනවා මාව මැරෙන්න යනවා අනේ මාව බේරා ගන්න කියලා දූ මහ හයියෙන් කෑ ගැසුවා. බැරිම තැන අපි දුව රෝහල ඇතුළට අරන් ගියා.
එහිදී පරීක්ෂා කරලා දුව මිය ගිහින් කියලා ඔවුන් කීවා. දුවට කිසිම ප්‍රතිකාරයක් නැතිව රෝහල ඉදිරියේ තියාගෙන මැරෙනකං ඉන්න වුණා. කොයිතරම් අපරාධයක්ද.?

අපිව ජීවත් කරවන්නට සිටිය දුව දැන් අකාලයේම අපිව අත් හැරලා යන්නට ගියා. ”

මෙම සිද්ධිය පිළිබදව අතුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී එච්. ඒ. එස්. කුඩලිගම මහතා මෙසෞ කිය.
 ”අපේ පැත්තෙන් අවශ්‍ය කටයුතු සිදු නොකළා නොවේ. අපි රෝගියාව පරීක්ෂා කළා එතකොටත් ඇය මිය ගිහින්. අපේ ඇතැම් සේවිකාවන් කොරෝනා රෝගයට ඇති බිය නිසා යම් යම් ප‍්‍රමාදයන් සිදු විය හැකියි. ඒ බව පිිළිගන්න වෙනවා”

(තොරතුරු - මහගම – කුමාර පාලින්දනුවර – නන්දන කෝට්ටේගොඩ)