දියවන්නා ඔයේ පාවෙමින් තිබු තෙල් තට්ටුවක් ගැන පසුගිය තියේ වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අද ලැබී තිබේ. 



එහි සඳහන් අන්දමට දියවන්නා ඔයට ජලය සැපයෙන බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් නිසි ලෙස ජලය බැස ගොස් නැති බවත් ඒ හේතුවෙන් බැක්ටීරියා සහ ඇල්ගී වර්ධනය වීම මත මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් වාර්තා කර තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ රාජගිරිය ෆෙයාර්වේ රෙසිඩන්සීස් ව්‍යාපෘතිය හා බුත්ගමුව පාලම අසල දියවන්නා ඔය අසලිනි.
ඒ අනුව එම කණ්ඩායම් එකී ස්ථානවලින් ජලසාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ මෙම ස්ථානවල ජලය කළුපැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය. එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ අතර ජලය බැස යාම ක්‍රමවත්ව සිදු නොවී තිබේ. එමෙන්ම ඒ මත දණ්ඩකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුලු සමග තුනී තෙල් තට්ටුවක් මතුවන අතර ඒවා ජලය මතුපිට පාවී යන ස්වාභාවයක් ද නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහා ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී/ බැක්ටීරියා වර්ධනය වීම මත මෙම තත්ත්වය වර්ධනය වී තිබේ. එමෙන්ම මෙහි විවිධ මාර්ගවලින් ඇළට සම්බන්ධ වන අපද්‍රව්‍ය  හා අපවිත්‍ර ජලය නිසා ලැබෙන නයිට්‍රජන් හා පොස්පරස් ප්‍රමාණය අනුව ජලයේ සුපෝෂණ තත්ත්වයක් ද වර්ධනය විය හැකිය
එමනිසා මෙම ප්‍ර දේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශණ කණ්ඩායම දැනුම් දී ඇත. ඒ අතර ඒ අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලය යුතු බවත් ඔවුන් දක්වා තිබේ.

දියවන්නා ඔයේ තෙල් තට්ටු පාවීම සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.