‘‘දොස්තර’’ ඒලියන්ත වයිට් තමන්ගෙන් බෙහෙත් බිව් සුපිරි පැළැන්තියේ ජනතාවගෙන් සමු ගත්තේය. ඒලියන්ත වයිට් ඒලියන්ත වයිට් වූ ආකාරය නම් තේරුම්ගත හැකිය. ඔහුගේ ධවල චවි වර්ණය අනුව ඔහු වයිට් වීම ගැන කාටවත් විවාදයක් නැත. ඒලියන්ත වන වචනය ඒලියන් Alian වූ නම් ඔහුගේ චර්මය අනුව එය කදිමට ගැළපේ.
මක්නිසාද යත් ඔහු ජීවත් වූයේ ඒලියන් හෙවත් අභයවකාශයේ කොහේ හෝ පිටස්තර ග්‍රහ ලෝකයකින් පාත් වූ කෙනකු පරිද්දෙනි. කාගේ කවුද, මුල් කාලයේ ජීවත් වූයේ කොහේද, පාසල් ගියේද නැද්ද ආදී වග වාසගම් බේත් ගත් කිසිවෙක් තබා වර්තමාන අග්‍රාමාත්‍යවරයාවත් දැන සිටියේ නැත. ඔහු ජනාධිපතිට තම ගුළිය බොන්න දුන්නත් ඒවා තියා ගන්න දෙන්නේ නැත. ඔහු ඉන්නා තැනම අතට දෙන ගුළිය ගිලිය යුතුය. ඔහු ගෙන එන පෙට්ටියේ මිස වෙනත් තැනක වෙනත් කෙනකුගේ අතට නොදෙන්නේ එසේ දුන්නොත් එහි බල බිඳෙතැයි සිතන බැවිනි. එබැවින් වයිට්ගේ බේත් ගුළි කිසිම තැනක පරීක්ෂණයට ලක් වන්නේ නැත.
රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයාට දෙන මේ ගුළියක් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පරීක්ෂාවට වරෙක යැවිණි. එහි කිසිදු අහිතකර දෙයක් හෝ ක්ෂුද්‍ර ප්‍රාණියෙක් වත් නැති පිරිසිදු ජලය පමණක් ඇති බව තහවුරු විය.
එය නිකම්ම ගුළියක් බව තහවුරු කළ විට ඒලියන්ත වයිට් පැවසුවේ රෝග සුවකරන ගුණය ඇත්තේ මේ කළුපාටට හුරු ගුළියේ නොව එයට තමා දෙන ශක්තියෙන්, බලයෙන් බවය. ඒ බලය = ස්කන්ධය × ගුරුත්වාකර්ෂණය අනුව ලැබෙන බලයක් නොව ඔහුගේ සිතිවිලිවලින් ලබාදෙන බලයකි.
ඒ බලය ගුළියට ලබා දෙන්නේ කෙසේදැයි ඇසූ විට නොයෙක් උත්තර ඔහුට විය.
මේ ගුළිය තැනීමට වුවමනා ඖෂධ තිබෙන්නේ හිමාලයේය. ඒවා ඉන්දියාවේ පුරාණ ඍෂීන් පිරිසද දැනගත් ඖෂධය. එසේම මේ ඖෂධ තිබෙන්නේ සාගර පත්ලේය. සාගර පත්ලේ තිබෙන පැළෑටි, පස් වර්ග ගෙන අනා පදම් කොට සඳ එළියේ පිනි වැටෙන තැනක තබන්නේය. පිනි වැටී තෙත්ව සඳ එළියෙන් මෘදුවට වේළෙයි. පොහොය දිනකට එන නාග රාජයකු ඊට සෙවණ දෙමින් ආශිර්වාද කරන්නේය. සඳ එළියේ පිනි පොද වැටීමෙන්ද නාග රාජයකුගේ පෙණ ගොබයේ රැකවරණය ලබමින්ද තැනෙන මේ ගුළිය මහානුභාව සම්පන්නය. ඊළඟට ඒ ඖෂධය දෙන්නේ රාජ්‍ය නායකයාගේ ඉල්ලීමටය.
මේ දිව ඔසුව රාජ්‍ය නායකයාගේ අණට පමණක් දෙනු ලබන්නේ ඇයි දැයි ඇසූ විට ඔහුට ඊට මනා වූ උත්තරයක් වෙයි.
හිමාල වනයේ තිබෙන විශේෂ ඖෂද පැළෑටි ගෙන එන්නට ඕනෑය. ඊළඟට සාගර පත්ලේ තිබෙන ඛනිජ වර්ග, පැළෑටිද ගන්නට ඕනෑය. ඒවා ගෙන්වා ගන්නට පුළුවන් රාජ්‍ය නායකයකුගේ අණින් පමණය. එබැවින් රාජ්‍ය නායකයාගේ අණින් පමණකි, මේ ඔසුව තනන්නේ. එය කලාමැදිරියකු කෑවොත් මුහුදු පතුලේ මඩත්, අහසේ තරුත් ගෙනැවිත් ඖෂධයක් තනා ගන්නවාට සමාන දෙයකි.
ඒලියන්ත ඒලියන් කෙනෙක් වීමට තවත් කාරණා වෙයි.
ඒලියන්ත හිටිඅඩියේ සති, මාස ගණන් ආගිය අතක් නැති වෙයි. එයට හේතුව ලෙස ඔහු කියන්නේ විශේෂ භාවනාවකට ඔහු යොමු වූ බවය. භාවනාවෙන් කුණ්ඩලනී යෝගය උපදවා ගනී. කුණ්ඩලනී යෝගය උපදවා ගත්තාම කාලය අතික්‍රමණය කර යා හැකිය. ඔහු වසර දහස් ගණනක් අතීතයට යයි. අනාගතයටද යයි. එහෙම ගිය කාලෙට ඔහු දකින්නට නැත. වසර දහස් ගණනක් අතීතයට ගොස් ඇවිත් ඔහු සාප්පු යන්නේ, රජ ගෙදරට යන්නේ, ඉන්දියාවේ අම්බානි හම්බ වෙන්න යන්නේ ජපන් හෝ ඇමෙරිකන් වාහනයකිනි. නැතිනම් ගුවන් යානයකිනි. මේ කාරණා අනුව ඔහු ඒලියන් කෙනකු වීමත් සුදු නිසා වයිට් වීමත් තේරුම්ගත හැකිය.
එහෙත් වෛද්‍ය වීම තේරුම්ගත නොහැක්කේය. ඔහු මෙලොව තිබෙන කොතැනක වත් වෛද්‍ය සභාවක ලියාපදිංචි විය නොහැකි වෛද්‍යවරයෙකි. ලියාපදිංචි වීමට සුදුසුකම් නැති වෛද්‍යවරයෙකි.
එහෙත් ඔහු මෙලොව සිටින සියලු වෛද්‍යවරුන්ට වඩා විස්කම් කළ කෙනෙකි.
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පාදයේ ආබාධයකට ලක්විය. ඔස්ෙට්ර්ලියාවේ වෛද්‍ය ආයතනවලින් ප්‍රතිකාර ගත්තත් සුව නොවූ ලසිත් ක්‍රිකට් ක්‍රීඩා අතහැරීමට සූදානම්ව සිටියේය. මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමට ඒලියන්ත වයිට් ලසිත්ගේ පාදයේ ආබාධය සුව කිරීමට ඉදිරිපත් වූයේය. ඉතා කෙටි කලකින් ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට පිවිස වාර්තා පිට වාර්තා තැබුවේය. ලසිත් ටෙස්ට් තරගවලින් සමු ගන්නා අවස්ථාවේ පිටිය මැදට පැමිණ තම පාදයේ ආබාධය සුව කර ගන්නට වයිට් වෙත යොමු කළ අග්‍රාමාත්‍යවරයාට ස්තුති කළේය. දීර්ඝකාලීනව වයිට් ගුළි දුන්නත් පාදයේ තිබූ සුළු වේදනාව සුව නොවූ අග්‍රාමාත්‍යවරයා ඒ ප්‍රසංසාවට ප්‍රභූ අමුත්තන්ගේ මැදිරියේ සිට අත්පුඩි ගැසුවේය. මට සුව නොවූවත් කාට හෝ සුව වුණා නේ දැයි සිතා කළ දෙයකි. වයිට් මළ විට ලසිත් Facebook සටහනක් තැබුවේ සුව වූ පසු මා ගත් කඩුලු හැම එකක්ම ඔහුට ගෞරව පිණිස වෙන් කළ යුතු බවය. ලසිත්, ඉන්දියාවේ සචින් ද වයිට්ගෙන් බෙහෙත් ගුළි බිව් ජාත්‍යන්තර ක්‍රීඩකයෝය. ඊළඟට වයිට් ප්‍රතිකාර කළේ ඉන්දියාවේ මහා ධන කුවේර අම්බානිටය. ජපානයේද මහා ධනවත් පවුලකට ප්‍රතිකාර කළ බව කීවද එය එතරම් ප්‍රචලිත නැත.
එපමණක් නොව ආබාධ සුව කිරීමට වයිට් භාරගත් තවත් ප්‍රකට දෙදෙනක් වෙයි. එක් අයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අනතුරට පත් වෛද්‍ය සිසුවිය වූ සමිතා සමන්මලීය. අනෙකා රාජගිරියේදී පාඨලීගේ රියේ හැපී අනතුරට පත් තරුණයාය. වයිට්ගේ ගුළි බිව් ඒ දෙදෙනාට සුවයක් වූයේ නැත. ඒ දෙදෙනාම තවමත් රෝද පුටුවේය. වරෙක ඒලියන්ත වයිට් කොළඹ විශාකා විද්‍යාලයේ නෙට්බෝල් ක්‍රීඩිකාවක් වූ දාහත් හැවිරිදි මෙලනි අමාගේ උරහිසේ ආබාධයකට බෙහෙත් කළේය. උරහිසේ අමාරුව කෙළවර වූයේ එම දැරියට සුදු රුධිරානු හිඟවන ලියුකේමියා රෝගය වැලඳී ජීවිතය අහිමි වීමෙනි.
වයිට්ගෙන් ප්‍රතිකාර ගන්නා අයගේ නාම ලේඛනයක් කොතැනකවත් නැති බැවින් හොඳ වූවන්ට වඩා ලෙඩේ දෙක කර ගත්තවුන් ගණන ගණින්නට බැරිය.
කොහොමත් ඒලියන්ත වයිට් කළේ ප්‍රතිකාර කිරීමක් නොවේ. ප්‍රතිකාරයකට රෝග විනිශ්චය, නොයෙක් ඖෂධ වර්ග ක්‍රමානුකූලව දීම, ඒවායේ මාත්‍රාවන් පාලනය කිරීම, ශල්‍යකර්ම, මතු නොව හෙදකමද ඇතුළත්ය. එහෙත් ඒලියන්ත වයිට් කළේ කළුපාටට හුරු ගුළියක් බොන්න දීම පමණය. වයිට් ගුළි දුන්නේ හුදී ජන සමාජයට නොවේ. ඔහු ගුළි ඇඹරුවේද පෙව්වේද කොළඹම කේන්ද්‍ර කරගත් ප්‍රභූ සහ ප්‍රසිද්ධ සමාජයටය. ඒවාට ඔහු සල්ලි ගත්තේ නැත. එහෙත් සල්ලි ඇඹරී ඇඹරී පැටළි පැටළී ඔහු වෙත ආවේය. එහි පළමු පියවර ඔහු ජනාධිපතිගේ වෛද්‍යවරයා බවට ප්‍රකාශ කිරීමය. එහෙත් ජනාධිපති එබඳු තනතුරක් ප්‍රදානය කර තිබුණේ නැත. එපමණක් නොව හිමාලයෙන් ඖෂධ පැළෑටි ගෙනෙන්නට අවසර පත්‍රයක්, මුහුදේ කිමිද පැළෑටි සහ ඛනිජ ගෙන ඒමට විශේෂ පහසුකමක්වත්, කෙනෙකුවත් මෙතෙක් දී නැත. මිනිසා අද්භූත දෑ කෙරෙහි අද්භූත දෙයින් ලැබෙන හාස්කම් කෙරෙහිද දක්වන්නේ නොමද උනන්දුවකි. සොයන්න සොයන්න තව තවත් අද්භූත නම් මිනිසා එහි වසඟයට පත් වෙයි.
ජනාධිපති නියමයෙන් බෙහෙත් කරන ප්‍රචාරක පුවරුවක්වත්, බෙහෙත් කරන තැනක්වත් නැති පොදු සමාජයේ පෙනෙන්නට නොසිටිනා මේ වයිට් නම් අපූර්ව තැනැත්තා ළඟට යෑමට පෙළඹවීමක් ඇතිවීම ස්වාභාවිකය. ඒලියන්ත වයිට්ගේ මේ ක්‍රමය ඔහුට වාසනාව ගෙනාවේය. නාන තටාක ඇති, ඉතාලියෙන් ගෙන්වූ ගෘහ භාණ්ඩ ඇති සේනක සේනානායක බඳු චිත්‍ර ශිල්පීන්ගේ සිතුවමින් බිත්ති අලංකාර කෙරුණ නිවසක් ඔහුට මීරිහානේ තිබිණි. එය ඉන්දියාවේ මහා ධන කුවේර අම්බානි, වයිට්ට දුන් පරිත්‍යාගය කැයි ඔහු කීවේය. අතබැඳි මිලියන ගණනාවක් වටිනා රොලැක්ස් ඔරලෝසුව ජපානයේ ධන කුවේරයෙක් දුන් පරිත්‍යාගයකි. ගුළි ගිල්ලෝ එබන්දෝය.
එහෙයින් වයිට් යනු ඉහළ සමාජයේ උන්ට සේවය කළ සුද්දෙක් බඳු අයෙක් යැයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් ඒලියන්ත වයිට්ගෙන් සාමාන්‍ය සිතන පතන පොදු ජනතාවටත් මහා සේවයක් සිදුව ඇත. ඒ සේවය නම් ඉහළ සමාජයේ ඇත්තන්ගේ මොළේ තරම මේ යැයි පෙන්වා දීමයි.
ඒලියන්ත වයිට්ගෙන් තවත් උගත යුතු පාඩමක් වෙයි. වයිට්ට ද කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට සිදු විය. වසංගතය මැඩපැවැත්වීමට බෙහෙතක් සොයා ගැනීමට ඔහු වසර 83,000 ක් දුරාතීතයට කුණ්ඩලනී ශක්තියෙන් ගියේය. වසර අසූතුන්දහසකට පෙරාතුව ලෝකයේ පැතිර ගිය වයිරසයකට කළ ප්‍රතිකාරයක් කුණ්ඩලනී ශක්තියෙන් අතීතයට ගොස් සොයාගත් වයිට් ඒ බේත මාස එකහමාරක් කොරෝනාවෙන් පීඩා විඳි ගුවන් සේවිකාවකට දුන්නේය. පෑ දොළහකින් ඇගේ ඇඟෙන් වයිරසය ඉවත් වූ බව ඔහු කීවේය. වයිට් මේ බව මව්බිම පත්තරයට කියා තිබිණි.
වසර 83000කට පෙරාතුව මනුෂ්‍යයා මිහිමත බිහිව තිබුණේ නැත.
ඒ වූ වයිට් තමාම, තමාගේ බෙහෙතේ පරීක්ෂාවට ලක් වූයේය. ඒලියන්ත වයිට් කොරෝනා එන්නත් විද ගත්තේ නැත. පැණි හදපු අය, රාවණා බලයෙන් ඔසු හැදූ අය එන්නත විද ගත්තාට වයිට් එබඳු වංචාවක් කළේ නැත. ඔහුට ඔහු ප්‍රතිකාරයේ සත්‍ය ලොවට පෙන්වා දෙමින් බටහිර පන්නයේ පුද්ගලික රෝහලකදී කොරෝනාවට පැරද සුරලොව ගියේය.
මෙබඳු අද්භූත බේත්වල සත්‍ය පෙන්වීම වයිට්ගෙන් මෙලොවට වූ උදාර සේවයයි. මේ අද්භූත පැවැත්මක් ඇති මිනිසා හෙවත් ඒලියන්ත වයිට් ගැන තවත් බොහෝ දේ සෙවිය හැකිය. එහෙත් මීට වඩා වැදගත් වන්නේ බුදු හාමුදුරුවෝ තමන්ගේ ඇඳුම් සොරා ගත් කතක් ගැන ඇසූ විට භද්දවග්ගිය කුමාරවරුන්ට දුන් උපදෙසයි.
‘‘අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සොයා ගන්න.’’
වයිට්ගෙන් සොයා නොබලා බෙහෙත් බිව් අය, බෙහෙත් ගන්නට බලා සිටි අය දැන් තමන් ගැන සිතා බැලිය යුතුය.
මිස්සක සෙනවිරත්න (සතිඅග අරුණ)
0 Comments