embilipitiya-woman-murder

අඹු සැමි යුවළක් අතර පැන නැගුණු ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සැමියා විසින් එල්ල කළ වෙඩි පහරකින් නිවස ඉදිරිපිටදී  සිඟිති පුතුද අතැතිව සිටි බිරියට වෙඩි වැදී ඝාතනය කිරීමේ භයංකර සිදුවීමක් ඇඹිලිපිටිය නව නගරයෙන් වාර්තා විය. මියගොස් ඇත්තේ ඉන්ද්‍රා මල්කාන්ති නම් 35 වියැති දෙදරු මවකි.  ඝාතක සැමියා ධම්මික කුමාර හෙවත් අනුර නමැති 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු උඩවලව ප්‍රදේශයේ මල් ශාලාවක් පවත්වා යන කෝටිපතියෙකු බවද හෙළිව ඇත.
ඔවුන් විවාහවී වසර 5 ක් පමණ වන අතර මේ දෙන්නාගේම දෙවන කසාදය බවද කියැවේ.දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම පවුල් ආරවුල කාලයක සිට පවතින්නකි. ව්‍යාපාරික සැමියාට පෙර විවාහයේ දරු දෙන්නෙකු සිටින අතර ඒ අයගේ නඩත්තු ගෙවීමද සිදු කරමින් සිට තිබෙයි. කාන්තාවගේ පෙර විවාහයේ දරුවන් සිට නැත.
 මියගිය කාන්තාවගේ බාල සොහොයුරා සැකකරුගේ මල්ශාලාවෙහි සේවය කළ අයෙකි. ඔහු නිසා සැකකරු එම කාන්තාව හඳුනා ගන්නා අතර මොවුන්ගේ විවාහය සිදුවන්නේ මීට වසර පහකට පමණ පෙරය.


 දෙදෙනා අතර විවාහයෙන් පසුව වරින්වර ආරවුල් ඇතිව තිබේ. ඒවා වඩාත් දරුණු තත්ත්වයට පත්වූ අවස්ථාද තිබී ඇති අතර එවන් අවස්ථාවලදී  මෙම කාන්තාව ඇයගේ මව වෙත ගොස් තිබෙන බවද කියැවේ.
පසුගිය 26 වැනිදා උදෑසනත් ගැටුමක් ඇතිව තිබෙන අතර සැමියා නිවසින් ගිය පසු මෙම කාන්තාව දරුවන් සමග ඇඹිලිපිටිය දර්ශනගම ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසට ගොස් ඇත. එදින ඇය සැමියාට පවසා ඇත්තේ තමා දික්කසාදය සඳහා සූදානම් වන බවත් ඒ වෙනුවෙන් ලියකියවිලිද රැගෙන මවගේ නිවසට පැමිණි බවයි.
‘‘උඹ ආවේ නැත්නම් මරා දමනවා’’ සැකකරු දුරකථනයෙන් තර්ජනය කර තිබේ.

ඊට බියවූ ඇය
එදින රාත්‍රී හතට පමණ දරුවනුත් බාල සොහොයුරාත් සොහොයුරාගේ බිරිඳත් සමග යළි නිවස වෙත පැමිණ ඇත. එදින ඇයට දොස් පවරා නිවසේ නතරවන ලෙස සැමියා දැන්වුවත් ඇය කැමැත්ත පළ කර නැත. කෙසේ වෙතත් සැමියා ඇගේ බාල සොයුරාවද බියගන්වා එළවා දමා බිරියව නිවසේ නතර කරගන්නට උත්සාහ දරා තිබේ. ඇයව නිවසේ නතරකොට  සොහොයුරාට පිටව යන්නට කියා ඇති අතර එම අවස්ථාවේ කාන්තාව ‘‘මල්ලී මෙයා මාව මරා දමාවි. මෙයා එක්ක ජීවත් වන්න බැහැ’’ යනුවෙන්ද කෑ ගසා ඇත..


කෙසේ වෙතත් ව්‍යාපාරිකයා සොයුරාවද එළවා දැමූ පසු ඔහු නිවසින් පිටව ටිකදුරක් යද්දී සැමියාගෙන් බේරි එක් දරුවකුද වඩාගෙන අනෙක් දරුවාද රැගෙන මෙම කාන්තාව නිවසින් පළායන්නට උත්සාහ දරා තිබේ.
 නිවසේ සිට ඉදිරිපස මාර්ගයේ මීටර් 10ක් පමණ ගමන් කරද්දී සැකකරු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් රැගෙන වේගයෙන් පැමිණ ඇය අල්ලා නතර කර තිබෙන අතර මුහුණ හරවා නළල දෙසට වෙඩි තබා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවිය. දරුවාට හානියක් නොවූ නමුත් කාන්තාව එතැනම ලේ පෙරාගෙන ඇද වැටිණි.


බිහිසුණු සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ සොහොයුරා ඊට නුදුරින් සිට ඇති අතර ඔහුට එය වැළැක්වීමට හැකියාවක් තිබී නැත. ඇදවැටුණ කාන්තාව ඇඹිලිපිටිය මහ රෝහලට රැගෙන යාමට සොයුරා උත්සාහ කළේය. නමුත් ඇය මියගොස් අවසන්ය.
ඇයට වෙඩි වැදුණ අවස්ථාවේ ඇගේ මොළයේ සහ හිසෙහි කොටස් මාර්ගයේ විසිරී තිබුණ බවද වාර්තා විය.
පොලිසිය පැමිණෙන අවස්ථාවේ සැකකරු පළාගොස් නොසිටි අතර සිනහසෙමින් දරුවන් සමග නිවසේ සිටි බව කියැවේ.
 අපරාධය කළ අවස්ථාවේ සැකකරු හැඳ සිටි ලේ තැවරුණු කමිසයක් හා අපරාධය සඳහා යොදාගත් සැකකෙරෙන නිවස ආසන්නයේ පාළු ඉඩමක සඟවා තිබූ නීති විරෝධී බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියද පොලිසිය සැකකරු ලවා සොයාගන්නා ලදි. නිවසේ තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සහ තාක්ෂණික උපකරණ කට්ටලය කඩා බිඳ දමා තිබියදී සොයාගෙන ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
 පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු සිරුර භූමිදාත කටයුතු සදහා මියගිය අයගේ මවට භාරදීමටද අධිකරණය නියම කර ඇති අතර අවුරුදු තුනක සහ අවුරුද්දක පමණ වයසේ පසුවන දරුවන් දෙන්නාද මව භාරයේ තබන්නට නියම විය.