eraj-fernando-bambalapitiya

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු (සෙල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස ප්‍රකට) බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට ගොස් ඊයේ (15) පෙරවරුවේ එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා විය.



මේ සිද්ධියෙන් එක් ආරක්ෂකයකුගේ දත් වලට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට සිදුවිය.

අදාළ ඉඩමට  මුස්ලිම් ව්‍යාපාරිකයකු හා කොළඹ 7 හි පදිංචි සිංහල ව්‍යාපාරිකයකු දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන බවත් එම ආරවුල හේතුවෙන් බම්බලපිටිය පොලිසිය විසින් එම ඉඩමට 66 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමක්ද සිදුකර ඇති බවත් පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් දෙපාර්ශවයම එම ඉඩමට ආරක්ෂකයින් දමා ඒ සඳහා ආරක්ෂාව ලබාදී ඇති පසුබිමක මෙම පහරදීම සිදුව ඇත.
එරාජ්  පහරදී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් "රෙඩ් හෝක් සිකියුරිටි" නම් ආරක්ෂක සමාගමෙන් ලබාගෙන සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුටය.
සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට ගොස් ඇති එරාජ් ප්‍රනාන්දු මහතා මෙම පහරදීම කර ඇතැයි පැවසෙන්නේ පෙරේදා (14) රාත්‍රීයේදීය.


කිසිදු හේතුවක් සඳහන් නොකර පැමිණී එරාජ් ප්‍රනාන්දු මහතා තමාටත් තමන් සමග සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව එම ස්ථානයේ රැඳී සිටි පෞද්ගලික අංශයක ආරක්ෂක නිලධාරියකු බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලේ සදහන් වෙයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් බම්බලිපිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව, එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කණ්ඩායමක් ඔහු සොයා පිටත්ව ගොස් ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.