geetha-speaks

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (12)  බෙන්තර පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ කියා තිබේ.

‘නාලක ගොඩහේවා ඇමැතිතුමාගෙන් මම ඇහුවා ඇයි බෙන්තර නගරය කපලා තියෙන්නේ කියලා. මම ඇහුවා ඔබතුමාද අර වියත් මගෙන් ද කියත් මගෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහොම හරි මම කෑගහලා නගර අලංකාර වැඩසටහනට බෙන්තර දාගත්තා.  බෙන්තර වගේම ඇල්පිටිය නගරයත් සංවර්ධනය කළ යුතුයි.

මේ නගරදෙක්ම වැඩ ටික ටික හෝ කරදෙනවා  නම් ඒක ලොකු දෙයක්. නැත්නම් මේ අසරණ ජනතාව  ඡන්දය දීලා හූල්ල හූල්ල ඉන්නවා නම් ඒක මට උහුලගෙන ඉන්න එක හරිම අමාරුයි. කොහොම වුණත් මම පොඩි  යෝජනාවක් කරනවා. අපිට දැනගන්න ලැබුණා අනවශ්‍ය භාණ්ඩ කියලා භාණ්ඩ රැසක බදු සියයට සියයක බද්දකට යටත් කරලා කියලා. හැබැයි සාමාන්‍ය දුප්පත් මිනිහෙක් අයිස් පෙට්ටියක්, ශීතකරණයක් නිවසේ තියා ගන්න කැමතියි. එක ගෙදරක විදුලි පංකා දෙක තුනක් තියා ගන්න මිනිස්සු ආසයි.  මේ බදු වැඩි කරපු ඇතැම් භාණ්ඩවලින් දුප්පත් මිනිස්සු වැඩියෙන් පරිහරණය කරන භාණ්ඩවල බදු අඩු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

මට මතක් වෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේදි අපි ඉස්කෝලේ ගියාම අහනවා "ඒ ෆෝ ඇපල් කියලා.' අපි අහනවා ඇපල් කියන්නේ මොනවද?" කියලා. අපි එතකොට ඇපල් දැකලා තිබ්බේ නැහැ. ඒ කාලේ ඇපල් තිබ්බේ නැහැ. හෙට අනිද්දා  වෙනකොට ඇපල්, මිදි වගේ දේවල් ආනයනය කරන  කොට විශාල බද්දක් පනවන්න සූදානම් වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. රට හදන්න ඕන. ආර්ථිකය  නංවන්න ඕන. මේක හරිම අසීරු කටයුත්තක්.

නමුත් අර  යට ඇදුම් ගැන කියන කතාව නම් මට අල්ලන්නේ නැහැ. ඒ කාලේ අපි ගාමන්ට් ෆැක්ටරි කරපු මිනිස්සු. දැන්නම් ඇමැතිවරු ඉන්නවා සුරුට්ටු කඩයක්වත් දාලා නැති අය. දැන් තියෙන තත්වය උඩ අපේ ළමයිට ඇපල් කියන්නේ මොනවාද කියලා අහන තත්වයක් ඒවිද කියලා දන්නේ නැහැ. එහෙම වුණොත් ඒක හරිම භයානකයි. ඒවා අනවශ්‍ය බඩු කියලා කියන්න බැහැ. ඒත් මිනිසුන්ට අවශ්‍යයි. මම  හිතන්නේ ඊට වඩා තියෙනවා බදු ගැසිය යුතු දේවල්.

මහ බැංකු අධිපතිතුමාට නොයෙකුත් හිත් රිදවීම් තියෙනවා කියලා අපිට නොයෙකුත් ආරංචි තියෙනවා. මහ බැංකුව කියන්නේ අපේ හදවත වගේ තැනක්. එතනට  හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක් දාන්න ඕන. මහ බැංකු අධිපතිට විතරක් නොවෙයි අපිටත් ලොකු හිත් අමාරුකම් හා කලකිරීම් ඇති වෙලා තියෙනවා. නමුත් මේ අවුරුදු කිහිපය අපිට ඒවා අමතක කරලා වැඩ කරන්න වෙලා තියෙනවා‘