The-wife-is-going-on-the-Presidents-visit-to-America-at-her-own-expense

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඔහු සමග ජනපති බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියද පිටත් වූවාය.



ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වේ.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ
සහභාගීත්වයෙන් සංචාරය සිදු කරන බවත් ජනපති මාධ්‍ය අංශය මීට පෙර ලිපියක් මගින් ප්‍රසිද්ධ කරන ලද අතර අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වන බවද දන්වා ඇත. පසුගිය දිනවල දේශපාලන ආරංචි පැවසුවේ ජනපති හා බිරිය මෙම ගමනේදී ඇමරිකාවේ වාසය කරන ඔවුනගේ පුතුගේ පවුලට එක්වූ අලුත් සිඟිත්තා බලන්නටද යන බවකි.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,

විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.