kahawatta-girl-death

සය හැවිරිදි දැරියක් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාම නිසා සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් ඇයට කෝවිඩ් ආසාදිත බවට තහවුරු වුවත් පසුව අයි.ඩි.එච්. රෝහලේදි සිදුකළ පරීක්‍ෂණයෙන් ඇයට කෝවිඩ් ආසාදනය වී නොමැති බවට හෙළිවී තිබේ.

 මියගිය දැරියගේ දෙමාපියන් මේ සම්බන්ධව පරික්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරති. දැරියගේ පියා වන එච්.ජී. ආනන්ද මහතා පැවසුවේ, අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය චත්න මහතා තමාට 19 දා පස්වරුවේදී දුරකථනයෙන් අමතමින්ට දියණිය මියගියේ කෝවිඩ් ආසාදිතව නොවන බවට තමාට දැනුම් දුන් බවයි.

තම දියණියගේ මරණයට හේතුව සියයට සියයක්ම කෝවිඩ් රෝගී තත්වයක් නොවන බව වෛද්‍යවරයා දැක්වූ බවද දැරියගේ පියා පැවසීය. පැල්මඩුල්ල පාතකඩ පදිංචි පාතකඩ විදුහලේ පළමු වසරේ ඉගෙනුම ලැබූ නෙතුලි දහම්සා සය හැවිරිදි දැරිය පසුගිය 14 වැනිදා කහවත්ත මූලික රෝහලේදී මරණයට පත්වීමෙන් පසු ඇයගේ පී.සී.ආර්. පරික්‍ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.

දැරියගේ මරණය සිදුවී දෙදිනකට පසුව 16වැනිදා පස්වරුවේදි මෙම දැරියගේ මරණය සම්බන්ධව පී.සී.ආර්. පරික්‍ෂණයේ වාර්තාව අනුව දැරිය කෝවිඩ් ආසාදිත වූ බවට දන්වා තිබූ නිසා දැරියගේ සිරුර පැල්මඩුල්ල ආදාහනාගාරයේදී පසුගිය 17වැනිදා ආදාහනය කිරීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් පසුගිය 16වැනිදා රාත්‍රි කහවත්ත මූලික රෝහලට ලද දැනුම් දීමකට අනුව දැරියගේ සිරූරු පසුදිනම අයි.ඩී.එච් රෝහලට රැගෙන එන ලෙසත් එහිදී දැරියගේ මරණය ගැන වැඩිදුරටත් පරික්‍ෂණ සිදුකරන බවත් එම රෝහලෙන් නැවත කළ දැනුම් දීමකට අනුව දේහය එහි රැගෙන ගොස් තිබුණි. නෙතුලි දහමිසා දැරියගේ පියා වන එච්.ජී. ආනන්ද මහතා මෙසේ පැවසීය.

"මගේ දුව පසුගිය 14 වැනිදා නිවසේ සිටියදී බනිස් ගෙඩියක් කමින් සිටියදී හිස පහතට වැටුණු බව බිරිද කීවා. ඒ විගසම දුව පැල්මඩුල්ල රෝහලටත් එතැනින් කහවත්ත මූලික රෝහලටත් රැගෙන ආවා. කහවත්ත රෝහලට ඇතුළත් කර පැය දෙකකින් දුව මියගියා. ඉත්පසුව පී.සී.ආර්. පරික්‍ෂණය කර දින දෙකකට පසු දුවගේ මරණයට හේතුව කෝවිඩ් බව කීවා. දුවට කිසිම රෝගී තත්වයක් තිබුණේ නැහැ. දුවගේ මරණය ගැන අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය චන්න මහතා පරීක්‍ෂණයක් කළා. එහිදී දුවට කොරෝනා නැති බව තහවුරු වෙලා.

 ඇයගේ මරණයට හේතුව තවම කීවේ නැහැ. මගේ දුවට කෝවිඩ් කියලා මාධ්‍යවල පළ වුණා. පී.සී.ආර් වාර්තාව නිසා එහෙම වුණේ. මේ තත්වයෙන් අපේ පවුලේ අය විශාල මානසික කම්පනයකට ලක් වුණා. එදා මාධ්‍ය මගේ දුවගේ මරණය ගැන වාර්ත කළ නිසා අයි.ඩී.එච්. රෝහලෙන් යළි පරික්‍ෂණය කළේ. එහෙම නොකළා නම් පසුදා උදේ දියණියගේ සිරුර ආදහනය කරනවා.

එහෙම වුණා නම් දුවගේ මරණය කෝවිඩ් මරණයක්.
මේ ගැන වාර්තා කළ මාධ්‍යයට මමත් බිරිදත් ස්තුතිය පළ කරනවා." මියගිය දැරියගේ මව වන වජිරා තිවාරි මහත්මිය පැවසුවේ,
දියණියට කෝවිඩ් බව වාර්තා වීම නිසා තම පවුල් 11 දෙනෙකුද නිරොධායනට යොමුකර ඇති බවත්, දියණිය වෙනුවෙන් ආගමික වතාවත්ව නිසියාකාරව ඉටු කරගැනීමට නොහැකිවූ බවත්ය.තම දියණියගේ මරණිය කෝවිඩ් බවට පැවසීම ගැන පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද දෙමාපියන් දෙපළ ඉල්ලීමක් කර සිටිති. අසල්වාසියකු වන පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක සුනිල් සෝමරත්න මහතා සඳහන් කළේ, රන්තපුර ශික්ෂණ රෝහලේ සිදුකළ මෙම පී.සී.ආර්. පරීක්‍ෂණය පසුව වැරැදීමක් බව වෙනත් රෝහලක් මගින් හෙළිවීම නිසා පරික්‍ෂණයක් සිදුකළ යුතු බවයි.

(රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා)