lankadeepa-office-cid

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙයි.
 සුඳුළූණූ වංචා සිද්ධිය ගැන පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් ලබාගත්  තොරතුරු පදනම් කරගෙන ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිදරව්වක් කළ අතර එම හෙලිදරව්ව අනුව එම තොරතුරු පිට කළ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනගෙන් කරුණු විමසනු වෙනුවට ලංකාදීප පුවත්පත් කාර්යාලයට ඊයේ උදේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගොස් එම කතුවරයා ප්‍රශ්න කිරීමට උත්සාහ කර තිබුණි.

එම අවස්ථාවේ තමාට මේ අවස්ථාවේ ඒ ගැන කිව නොහැකි බව කතුවරයා දන්වා සිටි නිසා ඔවුන් වෙනත් දිනයක එන බව දක්වමින් වැඩි වේලාවක් රැඳී නොසිට පිටව ගොස් තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබූ ජනමාධය ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අගමැති උපදෙස් පරිදි තමාද පොලිසියට එවැනි ප්‍රශ්න කිරීමක් නොකරන ලෙස දන්වා තිබූ බවයි. නමුත් එම කාරණාව පසෙක තබා අපරාධ පරීක්ෂණ නිලධාරීන් පුවත්පත් කතුවරයා ප්‍රශ්න කිරීමට ගොස් තිබුණ අතර ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වහාම විමර්ශනයක් සිදුකරන ලෙස දන්වා ඇත.
 සුඳුළූණූ වංචා සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති පසු බිමක මේ දේවල් සිදුවිය.


කෙසේ වෙතත් පුවත්පත් ආයතනවලට අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ තොරතුරු පළ කිරීම සම්බන්ධව මේ ආකාරයට ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට හා මාධ්‍ය නිදහසට හිතකර නොවන බවට මාධ්‍ය සංවිධාන ගණනාවක් දන්වා ඇත. එය අනියම් ආකාරයේ ‘තර්ජනය කිරීමක්‘ ලෙසද හඳුන්වා ඇත.

මේ අතර ලැබෙන තොරතුරු අනුව ඊයේ ලංකාදීප පුවත්පත් කතුවරයා හමුවීමට පැමිණි අය අත තිබූ ලියමනක ලංකාදීප කාර්යාලයේ කර්තෘ ප්‍රශ්න කිරීමට අමතරව එහි සේවය කරන ‘දිවයින‘ පුවත්පතේ කර්තෘ ගැනද සොයා බලා ඇති අතර දිවයින පුවත්පත පළ කරන්නේ තම ආයතනය නොවන බවට කියාදීමට සිදුව ඇත. සාමාන්‍ය දැනීම සම්බන්ධ කාරණාවක්වූ එය හාස්‍යයට කාරණාවක්වූ බවද වාර්තා විය. ලංකාදීප පුවත්පත විජය පුවත්පත් සමාගම මගින්ද දිවයින පුවත්පත උපාලි පුවත්පත් සමාගම මගින්ද පළ කරන අතර ඒ දෙකේ කතුවරුන් සිටින්නේ තැන් දෙකක කාර්යාල දෙකකය.