michelle bachelet

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 48 වන මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේ දී සිය වාචික දේශනය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ ගැටලු ගණනාවක් ප්‍රසිද්ධ කළාය.

• ශිෂ්‍යන්, අධ්‍යයනඥයින්, ලේඛකයින් සහ පූජකවරුන් සඳහා ගැටලු පැනනැගී ඇත
• රාජ්‍ය සේවයෙන් හිරිහැර කිරීම තවදුරටත් පුළුල් වී තිබේ
• හදිසි නීති රෙගුලාසි යටතේ  'මිලිටරිකරණය' සඳහා යොමුවී ඇත
• පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය මගහැර ඇත

"සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම් සිදු වී තිබේ," ඇය සඳහන් කළාය.



මාධ්‍යවේදීන් සහ එම පවුල් වෙත අඛණ්ඩව  බිය ගැන්වීම සහ අධිකරණ හිංසනය සිදු කරන බව ඇය කියා සිටියාය. රජය විවේචනය කරන සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් පීඩාවට ලක්කර ඇති බව සඳහන් කර තිබේ.

මේ වසරේ මාර්තු මාසයේදී නිකුත් කරන ලද නව "රැඩිකල්කරණ" නියාමනය පිළිබඳව බැචලට් අවධානය යොමු කළාය. නඩු නොමැතිව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමට අවසර දෙන නියෝගය ගැටලුකාරී බව ඇය කියා සිටියාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව දීම නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කිරීමක් බව ඇය පෙන්වා දුන්නාය.

 2008-2009 කාලසීමාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් 11 දෙනෙකු ට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙන යෑමෙන් වැළකී සිටීමට නීතිපතිවරයා ගත් තීන්දුවද ගැටලුකාරී බව ඇය කියා සිටියාය.



ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් 300 කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීමට හෝ ලැයිස්තු ගත කිරීමට රජය කටයුතු කර ඇති බව ඇය සඳහන් කළාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී සිවිල් සමාජ නායකයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීම ගැන ඇය අගය කරන අතර, ශ්‍රී ලංකාවේ සිවිල් අවකාශය විවෘත කිරීමට පුළුල් සංවාද ඇති කිරීම දිරිමත් කරන බව ඇය දන්වා ඇත. දැනට සකස් කෙරෙන සිවිල් සමාජය පිළිබඳ නව රෙගුලාසි ප්‍රසිද්ධ කරන ලෙස බැචලට් රජයෙන් ඉල්ලා සිටියාය.