narahenpita-campus-student-vaccine

වයස 20-30 වයස් කාණ්ඩයට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ දිවයිනේ ගණනාවකට ලැබුනේ සයිනොෆාම් එන්නත්ය. නමුත් විශේෂ අවසරයක් මත එම වයස් කාන්ඩයේ සිටින පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක සිසුන්ට මේ වන විට ෆයිසර් සහ මෝඩර්නා එන්නත් ලබා දී ඇත.
විදෙස් අධ්‍යාපනය සඳහා යන සිසුන්ට පමණක් මෙම එන්නත් ලබා දෙන බව පැවසුණත් මෙවැනි විශේෂ අවසරයක් ලැබීම රජයේ සරසවි සිසුන්ගේ නොසතුටට හේතුවී ඇත. මේ අතර සරසවි සිසුන්ට පසුගියදා නාරාහේන්පිට හමුදා රෝහලේ මොඩර්නා එන්නත ලබාදෙන බවට ආරංචියක් නිසාද කලබලයක් ඇති විය.

කැලණි සරසවි උප කුලපතිනියගේ ශීර්ෂ පාඨ සහිත ලිපියක ඇරයුමෙන් එහි ගිය එම සරසවි සිසු කණ්ඩයාම් එහිදී එන්නත නොදෙන බව දැනගැනීමෙන් කලබලකාරී තත්වයක් ඇති කර තිබුණි.

පසුගිය 25 වැනිදා) ඇති වූ සිද්ධිය සම්බන්ධව මේ වනවිට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන නියමයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තාවක්ද සපයා ඇත.
එදින යුද හමුදා රෝහලේ දී කැලණි සරසවි සිසුන්ට මොඩර්නා එන්නත් ලබා දෙන බවට එම රෝහලෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයාට පෙරදින දුරකතනයෙන් දැනුම් දී ඇත.

එහෙත් එදිනම රාත්‍රී දහයට පමණ එම රෝහලෙන් උපකුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වාට ලිඛිතව දැනුම් දී ඇත්තේ එදිනට සිසුන්ට එන්නත ලබා නොදෙන බවය.
නමුත්  ඒ වන විටත් එන්නත ලබා දෙන බවට වන පණිවුඩය උපකුලපතිනිය සිසුන්ට ලබා දී තිබුණ අතර එය නිවැරදි කළේ නැත. එන්නත ලබා නොදෙන බවට වන පණිවුඩය සිසුන්ට ලැබී නොමැති වීමෙන් පසුදින ඔවුහු යුද හමුදා රෝහලට පැමිණ එන්නත් නොමැති බව දැනගෙන උණුසුම්කාරී තත්ත්වයක් ඇති කළහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මීට පෙර කළ දැනුම් දීමට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබුණේ ඒ ඒ දිස්ත්‍රික්කයන්හි අදාළ පොලිස් වසම්වල දී සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දීමටය.