NMRA දත්ත මගඩිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා මේ දත්ත මකාදැමීම ගැන  නවතම තොරතුරු රැසක් හෙළිකර ඇතැයි එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ පෙන්වාදුන්නේ සැකකරුගෙන් සිදුකළ මුලීක ප්‍රශ්න කිරීම්වලදි මෙම දත්ත මැකීයාම හුදු තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද,

එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් බවයි.

මෙම දත්ත මගඩිය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත පැටවීමට විපක්ෂයේ ප්‍රබලයින් උත්සහ කරන අතර ඒ පසුපස තරගකාරී පුද්ගලික සමාගමක්පවතින බවට අදහස් පළව තිබේ.
 ‘අතීතයේදී එම දත්ත පරිපාලනය පැවරී තිබූ ටෙලිකොම් ආයතනය ඉන් ඉවත් කොට පෞද්ගලික ආයතනයකට පවරා තිබෙන්නේ අද NMRA දත්ත මගඩියට සම්බන්ධ බවට සැක කරන  දේශපාලන වකවානුවක බව ’ එහිදී කියා ඇත.
එමෙන්ම,  මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ පසුගියදා පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩුවේ පිරිස් ද සම්බන්ධ දුෂණ වංචා පිළිබඳව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක විමර්ශන සිදුවන අවස්ථාවක එහි දත්ත විනාශ කරදමා ඇති බවයි.'දත්ත විනාශ කරන්න පුළුවන් තරම් සම්බන්ධකම් තියනව ද? තරාතිරම නොබලා ඒකට  සම්බන්ධ පුද්ගලික සමාගම විතරක් නෙවේ, ඒ පිටි පස්සේ ඉන්න පැවති රජයේ ඉන්න මහා මොළකාරයින් වන දේශපාලනඥයින් පවා වහාම නීතිය ඉදිරියට ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම දැඩි දඬුවම් දෙන්න' යන්නයි.


ඊයේ දිනයේදී NMRA දත්ත මගඩිය සම්බන්ධයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු CID අත්අඩංගුවට පත්වූ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ NMRA දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවයි. මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශ්ව මෙන්ම ඊට ඔහුට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න ගැන  අධිකරණ විභාගයේදී අනාවරණය වනු ඇත.