covid19-government

Update
පළමු වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවන්න තීරණයක් නැහැ – ඇමති රමේෂ්


ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා තවම ස්ථිර නැති බව අද (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Previous report

ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලුම රාජ්‍ය සේවකයන් සෝඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සේවයට  කැඳවීමට රජය තීරණය කර ඇත.  


රජයේ අංශයට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබන මස පළමුවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට රජය තීරණය කර තිබේ.  
ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට (9.00)කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට (10.00) කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට පැමිණීමට හැකි වන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සමාන්‍ය පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ.


රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළගදීම නිකුත් කෙරෙනු ඇත. මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරිමට  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (27) දහවල් පැවැතියේය.
 කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුද, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද, අමාත්‍යාංශය  ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද , බස් සංගම්, ත්‍රිරෝද සංගම් ඇතුළු සංගම්වල නියෝජිත  පිරිසක්ද ඊට සහභාගි වූහ.