pakistan-sri-lanka

නවසීලන්තයට එරෙහිව තරග සංචාරය අවලංගුවීම හේතුවෙන් කෙටි තරග සංචාරයක් සඳහා තම රටට පැමිණෙන ලෙස පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එමෙන්ම මෙම ඇරයුම බංග්ලාදේශයටද සිදුකර ඇති බව එහි දැක්වෙයි. කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලානය අභිමුව දෙරටේම ක්‍රීඩකයන් කාර්යබහුල වීම හේතුවෙන් එම ආරාධනාව පිළිගැනීමේ ඇති අසීරුතාව දෙරටේම ක්‍රීඩා බලධාරීන් විසින් පාකිස්තානු ක්‍රිකට් ආයතනයට පැහැදිලි කර දී ඇත.



මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාකිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමේ කැමැත්ත පළකළ බවයි. “කෙට් තරග සංචාරයක හැකියාව ගැන අපි සොයා බැලුවා. ඒ අනුව අපේ පාකිස්තානු ක්‍රිකට් ආයතනය සභාපතිවරයා ඔවුන්ට තරගාවලියකට පැමිණෙන ලෙස ආරාධනා කළා. කෙසේ නමුත් ඔවුන් එම ආරාධනාව ඉතා ඉහළින් පිළිගත්තද, ඔවුන් දැනටමත් තහවුරු කරගත් සැලසුම් වෙනස් කර ගැනීම ඉතා අසීරු වූ බව අපට පෙන්වා දුන්නා. විශේෂයෙන් ඔවුන්ගේ සමහර ක්‍රීඩකයන්ද මේ වනවිටත් කණ්ඩායම සමගින් නොමැති බව දන්වා සිටියා”යනුවෙන් ඔහු පැවසීය.

නවසීලන්තය හා පාකිස්තානය අතර පළමු එක්දින තරගය පසුගිය සතියේ සිකුරාදා (17දා) රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර තම කණ්ඩායමට එල්ල වූ ආරක්‍ෂක තර්ජනයක් හේතුවෙන් නවසීලන්තය විසින් සිය පාකිස්තාන සංචාරය අත්හැර දැමීය. ඒ අනුව ඔවුන් ඉස්ලාමාබාද් නුවර සිට විශේෂ ගුවන් යානයකින් ඩුබායි වෙත පිටත්ව ගියේය.කෙසේ නමුත් නවසීලන්තයේ මෙම තීරණය පිළිබඳ පාකිස්තානය දැඩි කලකිරීමකට පත් වූ අතර,

ඔවුන් ප්‍රසිද්ධියේ නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙන්ම එරට රජයට සිය අප්‍රසාදය පළ කළේය.

එමෙන්ම දෙරටේ මෙම ආරවුල ඉදිරීයේදී පැවැත්වෙන ලෝක කුසලානයටද බලපානු ඇති බවට තොරතුරු වාර්තා වූ අතර, ඇතැම් පාර්ශ්ව පවසා සිටියේ නවසීලන්තයේ මෙම තීරණයට විරෝධය පළකරමින් එළඹෙන විස්සයි20 ලෝක කුසලානයේ ඔක්තෝබර් 26වැනිදා පැවැත්වෙන දෙරට අතර තරගය වර්ජනය කිරීමටද පාකිස්තානයේ සූදානමක් ඇති බවයි.කෙසේ නමුත් පාකිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක වසීම් ඛාන් ඊයේ (20දා) පවසා ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගය වර්ජනය කිරීමේ කිසිදු සූදානමක් තමන්ට නැති බවයි. එහෙත් නවසීලන්තය විසින් පාකිස්තානය සංචාරය ඒකපාර්ශවිකව අතහැර දැමීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අගෞරවයක්, කැලැලක් ඇති වූ බව තමන් විශ්වාස කරන බව වසීම් ඛාන් පවසයි.

"එය ද්විපාර්ශ්වක තරගාවලියක් බැවින් ආරවුල් නිරීක්‍ෂණ කමිටුවකට ගියහොත් නවසීලන්ත ක්‍රිකට්වලින් වන්දි ලබාගැනීමේ හැකියාවක් වුවත් අපට තිබෙනවා. නමුත් අපට එවැනි වුවමනාවක් නැහැ. නමුත් අප බලාපොරොත්තුවෙනවා නැවත එවැන්නක් සිදු නොවීමට අයි.සී.සී.යේ සහතික වීමක්” යනුවෙන් ඔහු පැවසීය.

විශ්ව මුදියන්සේ