pallekele-mother-death

පොල්පිතිගම, උල්පත පල්ලේකැලේ  ප්‍රදේශයේදී ඊයේ (28දා) පොලු ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොල්පිතිගම පොලීසිය පවසයි. 
ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවත් සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම කාත්තාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරවාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.  
 එම ප්‍රදේශයේම පදිංචි ඩබ්ලිව්.මල්ලිකා වික්‍රමසිංහ (62) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

 
මියගිය තැනැත්තියගේ අවුරුදු 25ක්  පමණ වයසැති වැඩිමල් පුතා උපතේ සිටම මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවත් ඔහු යාබද නිවසකට ගල්   ගසන බවත්, එය නතර කරන ලෙසට  ඉල්ලීම් කළද එය නොනවත්වන නිසා අසල්වැසි නිවැසියන් කලක සිට ඔවුන් සමග අමනාපයෙන් පසුවන බවට ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
 ඥාති නිවසකට යාමට මියගිය තැනැත්තිය මෙම අමනාපයන් පසුවෙන අසල්වැසියාගේ නිවස  ඉදිරිපිටින් ඊයේ (28දා ගමන් කරමින්  සිටියදී අමනාපයෙන් පසුවන මෙම තැනැත්තා නිවසේ සිට මාර්ගයට පැමිණ පොල්ලකින් පහරදී තිබේ.

පසුව ප්‍රදේශවාසීන් ඇය ඒ මොහාතම පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  අදාළ කාන්තාවට පහර දුන් බවට  සැකකරන 59 හැවිරිදි සිවුදරු පියෙකු අත්අඩංගුවට ගෙන ඇත.  පොල්පිතිගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වති.

  -සිසිර කැගලේගම-