payagala-incident

පසුගියදා කළුතර පයාගල පොලිසියට පැමිණි පියෙකු විසින් පුතෙකු ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අතර ඔහු පැවසුයේ තමන්ට පළමු කසාදයෙන් පුතෙකු සිටින බවත් පළමු කසාදයේ බිරිය මියයාමෙන් පසු තමා අලුත් බිරියක නිවසට කැන්දාගෙන ආවත් ටික කලකින් දෙවැනි බිරිය පුතා සමග යාළුවී ඇති බවත්ය.


තමා කුලී වැඩ සිදු කිරීම සඳහා ඇතැම් කාලවල දුර බැහැර ප්‍රදේශ වෙත ගොස් සිටින බවත් ඒ කාලයේ පුතා හා නව බිරිය නිවසේ සිටියදී මෙලෙස හාදවී ඇති බව සැකකරන බවත්ය.
තමා පසුගිය සතියේ එලෙස දුරබැහැරට ගොස් නැවත පැමිණෙන විට දොර වසා තිබූ බවත් තමා දොරට ගසා නිවසේ අයට කථා කරද්දී තම බිරිය හා පුතු පැමිණ තමාව එළවා දැමූ බවත් මෙම පියා පැමිණිලි කර තිබේ.


නිවසේ ඇතුලේ තිබුණ තමාගේ ඇඳුම් පැළඳුම් සූට් කේසයක උනා දමා තමා වෙත දිගු කළ පුතා ‘මං දැන් මෙයාව භාර අරන් ඉවරයි. උඹ යන තැනක යන්න‘ කියා දොර වසාගත් බවද පියා පවසා ඇත. එම අවස්ථාවේ බිරිය තමා දෙස බලා සිනාසී  පුතු සමග කරට අතදාගෙන නිවස ඇතුළට ගමන් කළ බවද ඔහු පවසා තිබේ. තමා එළවා දමන අවස්ථාවේ තමන් නිවස තුළ පරිස්සමට තිබූ මුදල් 8000 ක් පමණ තිබූ බවත් ඒවා යළි ලබා නොදුන් බවත් පියා පැමිණිලි කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පයාගල, නාගහදූව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටි සැකකටයුතු පුත්‍රයා අත්අඩංගුවට ගත් අතර රුපියල් 8000ක මුදල සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


බිරිය අඹුකමට ගැනීම සම්බන්ධ ප්‍රශ්නය සමථ මණ්ඩලයකට යොමු කර තිබේ. මේ සියල්ල ලියාපදිංචි කසාද නොවූ බවද හෙළි විය.
අත්අඩංගුවට පත් පුතු  පියාට යලි මුදල් ලබාදුන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියම කළේය.