ppe-covid-kit-weyangoda
කොරෝනා ආරක්ෂිත ඇදුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් වලට පැමිණ බලපත්‍ර පරික්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන හමුදා  සෙබළකු ඊයේ 8 සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.   මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව  කියන අරාලි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි හමුදා සෙබළකු බවට හඳුනා ගත් බව පොලිසිය සඳහන් කරයි.  ආදායම් බදු නිලධාරියෙකු ලෙස  හඟවමින් පැමිණ ඇති සැකකරු ඊයේ 8  දහවල් වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් කීපයකට පැමිණ ඒවායේ බලපත්‍ර පරික්ෂාවට ලක් කර ඇතැයි ද  පරික්ෂාවට ලක් කළ බලපත්‍ර වල විවිධ අඩුපාඩු  ඇති බව කියමින් ඒවා සකස් කොට නිවැරදි කර බලපත්‍ර සැකසුම දීමේ හැකියාව ඇති බව පවසා ඇතැයි පොලිසිය කියයි.  ඒ අවස්ථාව වනවිට නගරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පෙන්වා ඇති සැකකරු එම නිලධාරින් තමන් සමග රාජකාරියට පැමිණ ඇති බවට ව්‍යාපාරිකයින්ට කරුණු දක්වා ඇති බවටද පොලිසිය සොයා ගෙන ඇත.



එක් බලපත්‍රයක් සම්බන්ධයෙන් වෙළඳසැලක හිමිකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේ ග්‍රාම නිලධාරිනිය හා දුරකථනයෙන් සාකච්ඡා කර ඇති සැකකරු එම බලපත්‍රයේ අඩුපාඩු ඇති බවටද කරුණු දක්වා ඇති බව දුරකථන හඩපට වලින් හෙළිවන බව ද  පොලිසිය සඳහන් කරයි. නියමිත බලපත්‍ර නොමැති වෙළඳ ආයතන විස්සක් පමණ මේ වන විට වසා දැමීමට තමන්  නියෝග කර ඇති බවට කරුණු සඳහන් කරමින් ව්‍යාපාරිකයන් බියගන්වා ඇත. අවශ්‍ය බලපත්‍ර   සකස් කර දීමට ව්‍යාපාරිකයින් පිරිසකගේ නාමලේඛන හා දුරකථන අංක ද ඔහු ලබාගෙන ඇතැයි ද ඒවා සකස් කිරීමෙන් පසු තමන්ට  උපකාරයක් කරන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු ලැබුණු බවද පොලිසිය සඳහන් කරයි. එක් ව්‍යාපාරිකයෙකුට මේ පුද්ගලයා පිළිබඳව සැක සිතී  වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතාට දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



ආදායම් බදු නිලධාරියකු ලෙස පෙනී සිටි පුද්ගලයා හමුදා නිලධාරියකු බව හෙළි වී ඇත්තේ ඉන් අනතුරුවය.  සැකකරු සතුව රුපියල් 3000 ක පමණ මුදලක් තිබූ බව පොලිසිය කියයි. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාගේ මෙහෙයුම යටතේ වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


 - පුෂ්පකුමාර මල්ලවආරච්චි-