කෝටිපති ඉංජිනේරුවෙකු බව කියන 63 හැවිරිදි සමන් විජේසිරි මහතා මීට වසර 3 කට පෙර ඝාතනය කර කලපුවක සඟවා අතුරුදන්වීමක් ලෙස හැඟවෙන ආකාරයට යටගසා තිබීමේ සිද්ධියක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
වාර්තාවන ආකාරයට තිදෙනෙකු එකතුවී මෙම කෝටිපතියා ඝාතනය කරන්නේ ඔහුගේ දේපළ රහසිගතව ලියාගැනීමේ සැලැස්මක කොටසක් ලෙසයි.
කෝටි 50ක දේපොළ සතු අයෙකු බව කියන සමන් විජේසිරි ජපන් ජාතික කාන්තාවක සමග විවාහ වී සිටි අයෙකු වූ අතර ඔවුනට ඔවුන්ගේම දරුවන් නොසිටි බවත් පසු කලෙක දරුකමට හදාගත් අයෙකු වෙනුවෙන් ඔහුගේ වත්කම් ලියන්නට සූදානමක් පැවති බවත් කියැවේ. මෙකී ඝාතනය සිදුකර ඇත්තේ එලෙස වත්කම් ලියාදෙන්නට පෙර ඒවා අයිතිකරගැනීමේ කූඨ උවමනාවකට බව වාර්තාවේ.
වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි (63) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු ලෙස වසර 25 ක අත්දැකීම් සහිත අයෙකු විය. ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවකුද විය.
හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල පදිංචිව සිටි සමන්ට නිහාල් දේවප්‍රිය නමැති ඥාතියෙකු සිටි අතර ඔහු මාර්ගයෙන් ඉතාලියේ සිට පැමිණි පේරාචි ලින්කන් හා මෙරට සිටි රුවන් චන්දන නමැති දෙන්නා හඳුනාගන්නට ලැබී ඇත්තේ ව්‍යාපාර ක්ෂෙත්රයේ නියුතු අය ලෙසිනි.
සමන් විජේසිරිට අයත්ව තිබූ අක්කර පනහක පමණ ඉඩමේ වාහන සේවා (සර්විස්) ආයතනයක් තිබී ඇති අතර එය කළමනාකරණය පිණිස සමන්ට වේලාව අඩුවූ බව පැවසිණි. මේ නිසා එය බද්දට දීමට අදහස් කර ඇති අතර ඥාතියා හඳුන්වාදුන් පේරාචි ලින්කන් ගැන ඥාතියාගේද විශ්වාසය තිබූ නිසා ඔහුට එය බද්දට ලබාදී කරගෙන යන්නට කැමැත්ත පළ කර තිබී ඇත. මේ අතර සමන්ගේ ඥාති නිහාල් සමන්ට අයත් ජාඇල පිහිටි ගොඩනැගිල්ලක්ද බදු පදනමින් ලබාගෙන ව්‍යාපාර කරගෙන ගොස් තිබේ.
සමන්ගේ නිවසේ බිරිය හා හදාගත් දරුවා වාසය කර තිබෙන අතර විටින් විට විදේශගතව සිට පැමිණීම ඔවුනගේ සිරිතවූ බවද කියැවේ. දරුවා හා බිරිය ඕස්ට්‍රෙලියාවේ නිවාඩුවලට නිවසට ආ බව කියැවේ.ලංකාවේ සිටින දවස්වල තම ඥාතීන් හා ව්‍යාපාර හවුල් කරුවනුත් සමග ප්‍රිය සම්භාෂණයේ යෙදීම සමන්ගේ පුරුද්දක්වූ අතර ලෝබයකින් තොරව ඒවාට අතදිගහැර වියදම් කිරීමට සමන් කැමතිවූ බවද පැවසේ. මේ බොහෝ අවස්ථාවල කාකපල්ලියේ නිවසට නිහාල්, පෙරාචි හා රුවන්, සමන් හමුවීමට පැමිණ විස්තර කථාකරමින් කාබී විනෝදවූ බව කියැවේ.
මේ කථාබස් අතරවාරයේ දිනක් සමන්ගේ ඥාති නිහාල් අසා ඇත්තේ අයියෙ දැන් ඕගොල්ලන්ට නීත්‍යානුකූල දරුවන් නැහැනෙ මේ දේපළ වලට මොකද කරන්න හිතන් ඉන්නෙ...? ලෙසිනි. එවිට සමන් පවසා ඇත්තේ ඇයි මගේ හදාගත්ත දරුවා දැන් මං සලකන්නෙ මගේම දරුවෙක් විදිහටයි. එයාට තමයි මේ දේවල්. මේ පාර ඕස්ට්‍රෙලියාවට ගිහින් ආවට පස්සෙ මං එයාට මේව ලියල සෙට්ල් කරන්නයි හිතන් ඉන්නෙ.. ලෙසිනි.
නිහාල්ගේ ව්‍යාපාර කරගෙන යන බදු ගොඩනැගිල්ලට කුමක් වෙනවාදැයි ඇසුවීට සමන් - ඒකත් දරුවට තමයි ලියන්නෙ. ඔයාට ඉස්සරහට බදු කුලිය ගෙවන්නෙ වෙන්නෙ එයාට..යයි විහිළුවක්ද කර තිබේ.
කෝටිපති ව්‍යාපාරික සමන් ලෝබ පුද්ගලයෙකු නොවූ නිසා බදු මුදල් පවා කලට වේලාවට එකතු නොකළ අතර එකී ගොඩනැගිල්ල ගැන ලොකු උනන්දුවක්ද තිබී නැත. එය තමාට ඉදිරියේදී ලියා දමනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි නිහාල්ට මේ අසා ඇතිවූයේ අපේක්ෂා භංගත්වයකි.
තාම කාටවත් ලියල නැහැ යයි දැනගැනීම ගැන දීර්ඝ වශයෙන් කල්පණා කර ඇති ඔහු සමන්ගේ දේපළ ගැන නැවත නැවත කල්පණා කර තිබේ.
හදාගන්නා දරුවාට හෝ සමන්ගේ බිරියට දේපළ ගැන තේරුමක් නැති නිසා මෙම පුද්ගලයාගේ දේපළ තවම කාටවත් පවරා නැති පසුබිමක ඒවා රහසේ පවරාගැනීමට හැකි සැලැස්මක් ගැන අනතුරුව නිහාල් කල්පණා කළේ සමන් නැති තැන මිතුරු පෙරාචි හා රුවන් සමගිනි.
මේ අවස්ථාවේ ඉතාලියේ සිට පැමිණි ව්‍යාපාරික මිතුරා පෙරාචි ‘අපි ගේමක් දෙමු මේ වගේ වැඩ ගැන මං දන්නවා‘ යයි පවසා කුමන්ත්‍රණ කතාවක නිරතවී තිබේ.
මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 13 වැනිදා සමන් විජේසිරි නමැති මෙම කෝටිපතියා පැහැරගෙන ගොස් වත්කම් සියල්ල පවරන ලියවිලි වලට අත්සන් ලබාගෙන ඝාතනය කර හලාවත කලපුවේ සඟවා තිබෙන්නේ ඉන් පසුවය.
කිසිදු සාක්ෂියක් ඉතිරි කර නොමැතිවීම නිසා ජාත්‍යන්තරය පිළිගත් ඉංජිනේරුවකු අතුරුදන්වීම ගැන රටේ විශාල කථාබහක් ඇති නොවීය. ඔහු විදේශයකදී මියගිය ආකාරයක් ගැන තොරතුරු සපයා තිබුණි.
අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිසියට පළමු පැමිණිල්ල ලැබෙන්නේ 2018 සැප්තැම්බර් 18 වැනිදා වත්තේ මුරකරුගෙනි.එහි විමර්ශන හරිහැටි සිදුවන්නේ නැත.
පසුව පොලිස් කොමිසමට ආර්. ජයවීර නමැති මියගිය අයගේ ඥාතියකු දෙවැනි පැමිණිල්ල කර තිබෙන අතර අතුරුදන්වී වසර 2 කට පසු 2020 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලන්නට උනන්දු විය.
දේපළ වල වත්මන් අයිතිය පරීක්ෂා කිරීමේදී වැදගත් කරුණු අනාවරණය විය.
මෙම විමර්ශනවලදී පෙනී යන්නේ මියගිය සැකකරුගේ දේපළ වලට ඇස ගසාගෙන තිබෙන තෙවැනි පාර්ශ්වයක් කැපී පෙනෙන උනන්දුවකින් වැඩ කිරීමක් ගැනයි.
සමන් විජේසිරි ඝාතනය වන්නට පෙර සියලු දේපළ ඉතාලියේ සිට පැමිණි පේරාචි ලින්කන් වෙත පවරා තිබීම ගැටලු කාරී විය. සියල්ල පවරන්න තරම් පේරාචි, සමන්ගේ වැදගතෙකු නොවූ බව ඥාතීන්ගේ අදහස විය.
සමන් විජේසිරිට අයත්ව තිබූ අක්කර පනහක පමණ ඉඩමේ වාහන සේවා (සර්විස්) ආයතනය බද්දට පවත්වාගෙන ගිය පේරාචි ලින්කන් ඔහුගේ සියලු දේපළවල උරුම කරුවා වීම සමන්ගේ බිරියට හදාගත් දරුවාට මෙන්ම ඥාතීන්ට විශාල සැකයක් ඇතිකර තිබේ.
විමර්ශනවලදී සොයා බලද්දී පෙනී ගොස් ඇත්තේ ඝාතනයෙන් පසු සැකකරුවන් මියයාමට කලින් දිනක් යොදා නීතිඥවරයකුගේ සහායෙන් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් ප්‍රධාන සැකකරුගේ නමට දේපොළ ලියාගෙන තිබී ඇති බවයි.. එම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය මගින් සියලු දේපොළ විකිණීමටද ප්‍රධාන සැකකරුට බලය පවරා ගෙන තිබිණි.
අනතුරුව සමන්ගේ අතුරුදන්වීම ගැන සැකයක් ඇති නොවන ලෙස ඔහු ඒ දිනවල විදෙස්ගත වූ බව හැඟවීමට 2019 මැයි 28 වැනිදා UL225 යානයෙන් ඔහු විදෙස්ගතව ඇති බවට කටුනායක ගුවන් තොටුපොළේ දත්ත පද්ධතියටද ව්‍යාජ ලෙස තොරතුරු ඇතුළත් කර ඇත. ආගමන විගමන නිලධාරියකුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ගෙවා මෙය කරගෙන ඇතැයි දැන් හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෙරාචි, නිහාල් හා රුවන් තිදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී සමන් මරා කලපුවේ හැංඟූ බව පිළිගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ආගමන නිලධාරි, නීතිඥයා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ. එමෙන්ම කලපුවට දැමූ බව කියන දේහයේ කොටස් දැන් ඉතිරිව ඇතිනම් එම සාක්ෂි සෙවීමටද විමර්ශන අරඹා ඇත.
(Gossiplankanews.com)
0 Comments