wd-lakshman-speaks

පසුගිය සතියක හෝ දින දහයක් ඇතුළත කාලය තුළදී සිදු වූ හිත් රිදවන සිදුවීම් හේතුවෙන්, තමාගේ විශ්‍රාම යෑමේ දිනය සති හයකට පෙර සිදු කිරීමට තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා කියා සිටී.


ඒ මහතා මේ බව කියා සිටියේ , අද (10) අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම යෑමේ කතාවේදීයී.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින්, තමා හට මහ බැංකු අධිපති ධූරය භාරගන්නා ලෙස කළ ඉල්ලීම , තමා විසින් එකහෙලා නොපිළිගනිද්දී, අවම වශයෙන් වසරක කාලයක් සඳහා වත් ධූරය දරමින්, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී තමා ද උදව් වූ නව ආණ්ඩුවට මතවාදී සහයෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අවසානයේ එකඟ වූ බව, ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.



වසරක කාලයක් සඳහා භාරගත් ධුරයේ, තමා වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ බවද, එළැඹෙන මස තමාගේ අසූ වැනි ජන්ම දිනය දා, විශ්‍රාම යෑමට සැලසුම් කර තිබුනත්, මෑත කාලයේ සිදුවූ සිදුවීම් හේතුවෙන්, මෙම දිනය ඉක්මන් වූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ස්වකීය ධූර කාලය තුළ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිදු තීරණයක් තමා විසින් නොගත් බව ද, තමා නිවැරදි යැයි විශ්වාස කළ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති රාමු තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් මෙහෙයවීමට කටයුතු කළ බවද මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කර සිටියේය.

තමා මහ බැංකු අධිපති ධූරයේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කලද, තම පාලනයෙන් බැහැරව පවතින ස්වාභාවික හා මානූශීය බලවේග හේතුකොටගෙන අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව කියා සිටි ඒ මහතා, වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම ධූර තුන් වන මාසයේ, එනම් 2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට ආරම්භ වූ කොවිඩ් වසංගත රැළි හා ආයතනික හා මානුෂික කාරණාද, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට හේතු වූ බවයි.



එමෙන්ම රටට යහපත් ප්‍රතිඵල ලබා දීම සඳහා කල යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැන කල්පනා කරමින් මානසික පීඩනයෙන් ගත කළ දින ගණන් බොහෝ යැයි කියා සිටි මහාචාර්ය ලක්ෂ්මන් මහතා, වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ , තමා හා තම හිතවතුන් විශ්වාස කරන පරිදි මෙම ධූරයෙන් විශ්‍රාම ගැනීම තමාට ලැබුණු වෙස්වලාගත් ආශිර්වාදයක් වන බවයි.

වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට , මහ බැංකු අධිපති ධූරය දැරූ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා, එළඹෙන සැප්තැම්බර් 14 වෙනිදා වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.-