මෙහෙණින් වහන්සේ නමක ලෙස පෙනීසිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් මෙහෙණින් වහන්සේලා හා කාන්තාවන්ට ස්වර්ණාභරණ, ජංගම දුරකථන හා මුදල් සොරකම් කිරීමේ යෙදුණු කාන්තාවක සිවුරු කට්ටලයක් ද සමග බියගම රග්ගහවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයකදී පෙරේදා (20දා) අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
මල්වාන, යබරලුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක කාන්තාවක මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ලද තොරතුරක් මත පරීක්ෂණ මෙහෙයවා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම සැකකාරිය කතරගම, ජා-ඇළ, නුවර, පන්විල ආදී ප්‍රදේශවල භික්ෂුණී ආරාමවලත් විහාරස්ථානවලත් නවාතැන් ගනිමින් මහමග දී හමුවන කාන්තාවන්ට සිය දුක පවසමින් මුදල් ආධාර ලබා ගෙන ඇති අතර අවස්ථානුකූලව කාන්තාවන් රවටා ඔවුන් සතු ස්වර්ණාභරණ ජංගම දුරකථන හා මුදල් ආදිය උපක්රමශීලීව සොරකම් කර උකස් මධ්‍යස්ථානවලට උකස් කිරීමෙන් හා අලෙවි කිරිමත් සාවද්‍ය ලෙස මුදල් උපයාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.මෙලස සොරකම් කර ඇති දැනට තොරතුරු අනාවරණය වී ඇති ජංගම දුරකථන හා ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 3කට අධික බව පොලීසිය පවසයි.
ජා-ඇළ ප්‍රදේශයේදී මහමගදී හමු වූ කාන්තාවකට ඇයගේ ස්වරූපය දෙස බලා බලවත් අපල උපද්‍රව්‍ය පවතින බවත් ඒ සඳහා ශාන්තිකර්මයක් කළ යුතුව ඇති බවත් එම ශාක්තිකර්මය මෙහෙණින් වහන්සේ නමවෙන තමාට කළ හැකි බවත් පවසා තිබේ.මහජනයා වැඩියෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ ස්වර්ණාභරණ පලඳ සිටීම යෝග්‍ය නැති බවත් ඒවා ගලවා ගමන් බෑගයට දමා ගන්නා ලෙසත් එම චීවරධාරිනිය ඇයට පවසා ඇත. ඒ අනුව ක්‍රියා කළ කාන්තාව සිය ස්වර්ණාභරණ ගලවා ගමන් බෑගයට දමා එම බෑගය චීවරධාරිනියට ආරක්ෂා කරන ලෙස පවසා වැසිකිළියට ගොස් ඇති අතර ස්වර්ණාභරණ අඩංගු ගමන් බෑගය රැගෙන චීවරධාරිනිය පලාගොස් තිබේ.
සැකකාර කාන්තාව නුවර, පන්විල ප්‍රදේශයේ ආරාමයකට ගොස් එහි වැඩසිටි මෙහෙණින් වහන්සේට නිදිපෙති දී සිහි විසඥ කර රුපියල් 8000ක මුදලක් සිවුරු කට්ටලයක් හා ජංගම දුරකථනයක් ද සොරකම් කරගෙන පළාගොස් ඇත. මේ අතර කතරගම ප්‍රදේශයේ දී කාන්තාවක් සමග කුළුපග වී ඇයගේ ජංගම දුරකථනය සොරකම් කර ගෙන පලාගොස් ඇති අතර එම කාන්තාවගේ දියණියගේ ජංගම දුරකථනයට නිතර නිතර අසභ්‍ය වීඩියෝ දර්ශන යොමු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ
(බියගම - පද්මසිරි රණතුංග)
0 Comments