තම පුතාගේ දහතුන් හැවිරිදි මිතුරා සිය නිවෙසින් සොරකම් කරගෙන එන ලද රුපියල් දහසය ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා රන් ආභරණ උකස්කොට මුදල් ලබාගත් කාන්තාවක මෙම 27වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමටත්,  ළමයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර මව්පියන්ට බාර දීමටත්, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.  පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර ළමයා අක්මීමණ බටදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13යි මාස 8වයස සිසුවකු බවත්, ඔහු වඩුවැඩ කිරීමට සහ වෙල්ඩින් වැඩ කිරීමට මහත් ආසාවක් තිබු අයකු බවත්ය. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් ගැනීමට ඔහුට අවශ්‍ය වුණත් එයට ගෙදරින් කිසිම සහායක් ලැබිය නැති බවත් පොලිසිය කියා සිටියේය.




මේ අතර ඉකුත් 16 වැනිදා ඔහුගේ පියා වැඩට  ගොස් සවස නිවෙසට පැමිණි අවස්ථාවේ නිවසේ පිටුපස දොර විවෘතව තිබු අතර අල්මාරිය ද විවෘත කර තිබීම නිසා සොයා බැලීමේ දී එහි තිබු රන් ආභරණ සියල්ලම නැති බව දැන ගෙන පුතාගෙන් විමසුව ද හරිහැටි පිළිතුරක් නොලැබුණ නිසා අවසානයේ සොරකම පිළිබඳව අක්මීමණට පොලිසියට පැමිණිලි කර ඇති බව කියා සිටියේය.  එහිදී ළමයා සියල්ල හෙළි කරමින් තමා සියලුම  රන්ආභරණ සොරකම් කරගෙන ගොස් යාළුවාගේ අම්මාට දුන් බවත්, ඇය ඒවා උකස්කර තමාට වඩුවැඩ කිරීමට යන්ත්‍රයක්ද, ජංගම දුර කතන තුනක්ද, රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගෙනැවිත් දුන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.


ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වී යාළුවාගේ නිවෙසට ගොස් පරික්ෂා කර එහි තිබී ළමයා ඉල්ලුම් කරන ලද වඩුවැඩ කිරීමට අවශ්‍ය උපකරණයත්, ජංගම දුරකතන තැනත්, රෙදිපිළි, විදුලි පංකාවක් ආදිය සොයාගෙන ඇත. පසුව සොරකම් කිරීමට ආධාර අනුබල දීම,  සොරබඩු ළඟ තබාගැනීම, සොරබඩු අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකාරිය සහ ළමයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකාර ළමයාට අවශ්‍ය දේවල් ලබා ගැනීම පියා විසින් වළක්වා ඇති බවය. ළමයාගේ මාළු ටැංකියක් පියා විසින් ඉවත් කර ඇති බවත්, ළමයා ඉල්ලා සිටි වෑල්ඩින් උපකරණ ලබා නොදීමත් නිසා ළමයා අවස්ථා කිහිපයක දී  මෙම බඩු සොරකම් කර ඒවා ගෙන ගොස් සැකකාරියට දී ඇති බවත් පොලිසිය කියා සිටියේය.




ළමයා සිදුකරන ලද සොරකමට මුල් අවස්ථාවේම කරුණු වටහා නොදී සැකකාරිය වංක සිතින් එම ළමයා හරහා සොරකම දිගින් දිගටම සිදුකර රන් භාණ්ඩ ස්ථාන පහකට උකස්කර මුදල් ලබාගෙන එම මුදලින් ඇයගේ අවශ්‍යතාවන් ඉටුකර ගෙන ඇති බව ද පොලිසිය කියා සිටියේය. රන් භාණ්ඩ උකස්කරන ලද රිසිට් පත් පහක් ද ඉදිරිපත් කළ පොලිසිය භාණ්ඩවලින් කොටසක්  සොයාගෙන ඇති අතර අනෙකුත් භාණ්ඩ සොයා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


සැකකාරිය සහ සැකකාර ළමයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සැකකාරිය මුල් අවස්ථාවේම වරද පිළිගැනීමට සූදානම් නිසා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. මෙහි දී සැකකාර ළමයාගේ මව්පියන් කැඳ වූ මහේස්ත්‍රාත්වරයා ළමයා බාර ගැනීමට කැමැතිදැයි විමසුවේය. මව්පියන් කියා සිටියේ පුතා බාර ගැනීමට කැමති බවය. ඒ අනුව ළමයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර මව්පියන්ට බාරදීමටත් සැකකාර කාන්තාව 27වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.


  -ඩී.පී. සුගතපාල-