Dig-the-wall-and-sneak-into-the-hotel-for-Rs.-Student-remanded-for-selling-28,580-prawns

ගණේමුල්ල නගරයේ පිහිටි හෝටලයක බිත්ති සිදුරු කර අලුයම් කාලයේදී හෝටලය තුළට ඇතුළුවී රුපියල්
28,580ක මුදලක් සොරාගත් සැකකරු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසට ගම්පහ
මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා (26දා) නියම කළේය.

මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කාන්තිනාදන් අම්බලගන් නමැති සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයටපත් කෙරිණි.



සැකකරු වෙළෙඳසලට යාබද වෙළෙඳසලේ සේවය කරන බවත් සැකකරු සේවය කරන වෙළෙඳසලේ සහ
හෝටලය වෙන් කරන බිත්ති ඉකුත් 26 වැනිදා අලුයම් කාලයේදී යකඩ කටුවක් සහ මිටියක් උපයෝගී කර
ගනිමින් සිදුරු කර හෝටලය තුළට ඇතුළුවී මුදල් සොරාගෙන හාරන ලද සිදුරෙන්ම එළියට එද්දී එය දුටු
අසල්වැසි වෙළෙඳසලක සේවකයකු සැකකරු අල්ලා පොලිසියට භාරදුන් බව පැමිණිල්ල මෙහෙයවමින් ගණේමුල්ල
පොලිසියේ සැරයන් බාලසූරිය (6247) අධිකරණය හමුවේ කීය.

සැකකරුට නීතිඥ සහායක් නොතිබූ හෙයින් යමක් කීමට ඇත්දැයි අධිකරණය සැකකරුගෙන් විමසා සිටියේය.
විත්තිකූඩුවේ සිටි සැකකරුට දඬුවම් පමුණුවන ලෙස අධිකරණයෙන් එවිට ඉල්ලා සිටියේය.

පොලිසිය චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති හෙයින් දඬුවම් ලබාදිය නොහැකි බවට සැකකරු පැවැසූ
අධිකරණය සැකකරුට විරුද්ධව චෝදනා පත්‍රයක් 9 වැනිදාට අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට පොලිසියට නියම කළේය.

එතෙක් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. සැකකරු සන්තකයේ තිබියදී
අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 28,580ක මුදල, යකඩ කටුවක් සහ මිටියක් පොලිසිය මඟින් නඩු භාණ්ඩ ලෙස
අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල