තත්ත්වය බාල කිරීම මගින් මිල අඩු කිරීම සඳහා කිරිපිටි සහ බටර්වලට පාම්තෙල් වැනි වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සහ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය මිශ්‍ර කළ නිෂ්පාදන  ආනයනය කිරීම වැළැක්වීම සඳහා ආනයන අපනයන පාලක පනත යටතේ 'මේදය පුරවන ලද කිරිපිටි' ආනයනය කිරීම අත්හිටුවීමට කර්මාන්ත අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබේ.  එමෙන්ම ස්වභාවික සංයුතිය වෙනස් කරන ලද මේදය රහිත කිරිපිටි ආනයනය අත්හිටුවීමටද යෝජනා කර ඇත.



එමගින් මෙරටට වාර්ෂිකව අවශ්‍ය මේදය රහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 150ක් දේශීයව නිපදවීම මගින් දේශීය බටර් අවශ්‍යතාව දේශීයව නිපදවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කිරිපිටි ආනයනය කිරීමේදී සම්පුර්ණ යොදය සහිත කිරිපිටි පමණක් ආනයනය කිරීම සඳහාද අවසර ලබාදීමට යෝජිතය. අනාගතයේදී ආනයන බදු සංශෝධනය කිරීමේදී ආනයනික කිරිපිටි සහ බටවල මිල දේශීය නිෂ්පාදනවල මිලට වඩා 05කින් ඉහළ මට්ටමක පවතින ලෙස ඉවත් කළ බදු නැවත පැනවිය යුතු බවටද යෝජිතය.රාජ්‍ය සහ පෞද්ගලික දේශීය නිෂ්පාදකයන් සමග වෙළෙඳ පොළ මිල මට්ටම සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීම මගින් විසඳුම් ලබාදීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු විෂයභාර අමාත්‍යාංශය මගින් යාන්ත්‍රණයක් සකස් කිරීමටද කර්මාන්ත අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇත.



මේ සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත මගින් ආයෝජකයන්ට ලබාදෙන සහන ප්‍රකාශයට පත් කිරීම මගින් කිරිපිටි සහ බටර් මූලික කරගත් කර්මාන්තශාලා 03ක් ඉදිකිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමටද යෝජිතය.එමෙන්ම ආනයන ආදේශන නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම දිරිගැන්වීම සඳහා අනිවාර්ය අපනයන කොන්දේසි ලිහිල් කිරීමට හා ව්‍යාපෘති කාලය තුළ ව්‍යාපෘති සඳහා ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සඳහා රේගු බදු සහන ලබාදීමටද යෝජිතය.
(නවෝද්‍යා පවනි)