Is-Wimal-and-others-criticizing-the-government-a-drama

යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අත්තනෝමතිකව ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම පැවැති සාකච්ඡාවලින් අනතුරුව විමල් වීරවංශ ඇතුළු රජයට සම්බන්ධ පක්ෂවල කැරැලිකාර පිල ඊයේ රැස්වීමක් පවත්වා රජය විවේචනය කළ අතර මෙය පිටපතකට සිදුකරන දේශපාලන නාටකයක් ලෙසද ඇතැම් තැනක කතාබහට ලක්වේ.
තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද එසේත් නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත් වනවාද යන්න සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස අවසානය වන විට තීන්දු කිරීමට ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන පක්ෂ නායකයන් සැලසුම් කොට ඇති බව මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කැරැලිකාර පිලේ ප්‍රධානත්වය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන දරන අතර, ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් 20 දෙනකු සිටින බවද දැනගන්නට තිබේ.


ලබන 12 වැනිදා ආණ්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි විවාදය අවසානයේදී බොහෝ දුරට මෙම තීන්දුව ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එක්වී ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම සම්බන්ධව රජය එළඹි පාරදෘශ්‍යභාවයක් නැති විනාශකාරී ගිවිසුමට එරෙහිව ඊයේ (29) සවස බත්තරමුල්ල සෝලියස් ශාලාවේ දී සංවිධානය කළ ජනහිතකාමී හෙටක් උදෙසා – මහජන මන්ත්‍රණ සභාව පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මෙසේ කීය,

“බොරුවට අවුරුදු 5ක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයුම භාරදෙන්නේ ඔය අමෙරිකානු සමාගමට. ඇමති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැති නිසා අපිට අයිතිය තියෙනවා.., උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු කියන්න එපා. හොරට ගෙනාවේ. තකකඩිකමින් ගෙනාවේ. ඒ වගේ ක්‍රම පිළිඅරගෙන ඉන්න අපිට බෑ. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළිඅරගෙන ඉන්නේ නෑ අපි. අපේ ආණ්ඩුව වැරද්දක් කරනකොට අපි ඉන්න ඕනේ සද්ද නැතුව ද? අපිට ඕනේ ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්ත රිදෙන්න පහර දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දෙ දුන්නේ අත්භූත කැබිනට් පත්‍රිකාවකින් මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධවෙන්න ඉඩ දෙන්න නෙමෙයි.”


මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන්  විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල,  ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය  ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්,  යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග  යන මහත්වරු ද  මූලාසන මණ්ඩලය නියෝජනය කළහ.

මෙම අවස්ථාවට ඕමාරේ කස්සප නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියහ.