ambanpola-murder-update
අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරිවරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් තිදෙනා අතරින් දෙවැනි සැකකරු (ටෙක්සි ඩෙනිස්) සහ තුන් වන සැකකරු (සමිත් ඉදුරංග) එම ඝාතන සිද්ධියට පෙර තවත් පුද්ගලයෙකු සමග රතු පැහැති මෝටර් රථයකින් තම හෝටලයට පැමිණ නවාතැන් ගෙන සිටි බවත්  එම අවස්ථාවේ දෙවන සැකකරු (ටෙක්සි ඩෙනිස්) සුදු පැහැති සරමක් සහ සුදු සර්ට් එකක් ඇඳ සිටි බවත් ඔහු අත එක්ස්රේ කාඩ් එකක් සහ වෛද්‍ය වාර්තා වැනි යමක් තිබූ බවත් ගල්ගමුව දිවුල්වැව අයිස් බර්ග් හේටලයේ කළමනාකරු එම්.එම්. පද්මානන්ද පැවැසීය.


සාක්ෂිකාර එම්. එම්. පද්මානන්ද මේ බව පැවසූවේ අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරී කපිල ප්‍රියන්ත සපුකුමාර කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන සාක්ෂිකාර එම්. එම්. පද්මානන්දගෙන් විමසා සිටියේ සැකකරුවන් හඳුනනවාද? යන්නයි ඊට පිළිතුරු දෙමින්


සාක්ෂිකාර එම්.එම්. පද්මානන්ද විවෘත අධිකරණයේදී කියා සිටියේ පසුගිය 2 දින රාත්‍රි 12 30 ට පමණ දෙවන සැකකාර (ටෙක්සි ඩෙනිස්) සහ තුන් වන සැකකාර සමිත් ඉදුරංග සහ තවත් අයෙකු සමග ගල්ගමුවේ දිවුල්වැව පිහිටි තම හෝටලයට නවාතැන් ගැනීමට පැමිණි බවයි.

එම අවස්ථාවේ දෙවන සැකකරු සුදු සරමක් සහ සුදු සර්ට් එකක් ඇඳගෙන සිටි බවත් ඔහුගේ අතේ කොට්ටයක් සහ එක්ස්රේ කාඩ් එකක් සහ වෛද්‍ය වාර්තා වැනි යමක් තිබූ බවත් ඔහු පැමිණියේ රෝගියෙකු ලෙසින් බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ එම්.එම්. පද්මානන්ද ප්‍රතිකාර ලබා ගැනීමට පසු දින උදේ (3 දා) කැබිතිගොල්ලෑවට යාම සඳහා පැමිණි බවත් ඊට පෙර මෙහි නවාතැත් ගැනීමට පැමිණි බවත් දෙවන සැකකරු පැවසූවේ යැයිද කීවේය.

එලෙස පැමිණි මෙම සැකකරුවන් තම හෝටලයේ කාමර දෙකක් වෙන් කර ගත් බවත් ඉන් එක් කාමරයක දෙවන සැකකරු සහ තුන්වන සැකකරු නවාතැන් ගත් බවත් තවත් පුද්ගලයෙකු වෙනත් කාමරයක නවාතැන් ගත් බවත් තවදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ එම්.එම්. පද්මාන්ද පසු දින (3 දා) ඔවුන් සිය හෝටලයෙන් පිටව ගිය බවද පැවසීය.

ගල්ගමුව මහගල්කඩවල තුරු වදුල හෝටලයේද මෙම සැකකරුවන් ග්‍රාම නිලධාරි ඝාතනයට පෙර නවාතැන් ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහෙත් තුරු වදුල හෝටලයේ කළමනාකරු වන ඩබ්. ටී. ජයන්ත පී. පෙරේරාට කිසිදු සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගැනීමට නොහැකි විය.

මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින පුහුණු දුම්රිය ස්ථානාධිපති චානක තිලාන් කුමාර සහ ටෙක්සි ඩෙනිස් සහ සමිත් ඉදුරඟ යන සැකකරුවන් තවදුරටත් ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට මහව ප්‍රධාන මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන නියෝග කළේය.

තිසල් තෙන්නකෝන්- සාලියපුර