කුඹුරක් සම්බන්ධයෙන් පැවැති බව කියන ආරවුලක් මත ගුරුවරයකු වූ සිය 32 හැවිරිදි පුතාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි පැවසෙන 65 හැවිරිදි පියකු කැලැවක සැගවී සිටියදී පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව අම්පාර මධ්‍යම කඳවුර පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ දියණියගේ සැමියා (සැකකරුගේ බෑනා) ටද එම පිහියෙන් ඇනීම නිසා
ඔහු බරපතළ තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ අම්පාර මධ්‍යම කඳවුර පොලිස් වසමට අයත් 11 කොළණිය කොටසේ පදිංචිව සිටි සින්නේපලන් කිරුබරාසා (32) නමැති විවාහක ගුරුවරයෙකි.
මොහු කල්මුණේ පොලිස් වසමට අයත් පෙරියනිලාවේලි කොරොන්දු මරදු රජයේ දෙමළ පාසලේ ගුරුවරයකු බව මධ්‍යම කඳවුර පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. කිරුබරාසා මහතා ඔහුගේ සොහොයුරියගේ සැමියා (කිරුබරාසාගේ මස්සිනා) සමග මල්වර මංගල්‍යයකට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටියදී සැකකරු සැඟවී සිට සිය පුතාට පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසයි. ඔහු බේරාගැනීමට මස්සිනා ඉදිරිපත් වූ අවස්ථාවේ සැකකරු ඔහුගේ බෑනාටද පිහියෙන් ඇන ඇති බව එම පොලිස් නිලධාරියා කීය.
කුඹුරක් සම්බන්ධයෙන් පියා සහ පුතා අතර කාලයක පටන් ආරවුලක් තිබී ඇති අතර මේ ආරවුල මත මෙය කර තිබෙන බව පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි. හැට පස්හැවිරිදි සැකකරු ප්‍රදේශයේ කැලැවක සැඟවී සිටියදී මධ්‍යම කඳවුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්.ඒ. විජේසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments