ලබන අය වැයෙන් විශ්වකර්ම වැඩ ටිකක් පෙන්වන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවසීය. ඒ විශ්වකර්ම වැඩ දැක සමහරවිට විපක්ෂයට හොඳටම රිදෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. 

ඇමැතිවරයා මෙසේ පැවසුවේ එකතු කළ අය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගය පිළිබඳ විවාදයේදීය.  අප මේ රට විකිණීමට පැමිණි ආණ්ඩුවක්  නොව ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩුවක් බවත් අප රට ආරක්ෂා  කිරීම දිගටම කරන බවත් ඔහු පැවසුවේය.

රටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරගෙන යන බවද ඇමැතිවරයා කීවේය. ජනතාවට රටේ ආර්ථික තත්වය ගැන නිතර   පෙන්වා දෙන බව පැවැසූ අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වගකීම මැනවින් ඉටු කරන බවද සඳහන් කළේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාද ඒ  වගකීම මැනවින් ඉටු කරන බවත් එම වගකීම ඉටු  කරද්දී ගැටලු මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.  අප ඒ අභියෝග ජයගන්නා බවද ඔහු පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගත්තා සේම  ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ආර්ථික යුද්ධය ජය ගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


 - අංජුල මහික වීරරත්න-