නිවුන් සහෝදරයන් දෙදෙනකු වන ආර්.ඒ. සෝමසිරි පෙරේරා සහ ආර්.ඒ. ප්‍රේමසිරි පෙරේරා යන මහත්වරු පසුගියදා එකම දිනක සහකාර පොලිස් අධිකාරි  නිලයට උසස්වීම් ලැබූහ.  නිවුන් සොහොයුරන්  දෙදෙනකු සහකාර පොලිස් අධිකාරි නිලයට එකවර උසස්වීම ලබා ඇත්තේ, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.  ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිටි 225 දෙනකු පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් පදවි ලැබූ අතර, ඒ අතරේ මෙම නිවුන් සහෝදරයෝ දෙදෙනා ද සිටිති.  සෝමසිරි පෙරේරා මහතා දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති වශයෙන් සහ ප්‍රේමසිරි පෙරේරා මහතා මොනරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වශයෙන් ද රාජකාරි කරමින් සිටියදී සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම්  ලබා ඇත.



මෙම නිවුන් සහෝදරයන් දෙදෙනා මූලික අධ්‍යපනය ලබා ඇත්තේ මොනරාගල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයෙනි.  සෝමසිරි පෙරේරා මහතා ශිෂ්‍යත්වය සමත්ව වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙනි.  ප්‍රේමසිරි පෙරේරා මහතා වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයෙනි.  සෝමසිරි මහතා ආධුනික උපපොලිස් පරික්ෂකවරයකු ලෙස 1988 වසරේ මාර්තු මාසයේ 15 වැනිදා පොලිස් සේවයට එක්ව ඇති අතර, ඔහුගේ නිවුන් සොහොයුරා වන  ප්‍රේමසිරි පෙරේරා මහතා 1990 වසරේ අප්‍රේල් මාසයේ 16 වැනිදා පොලිස් සේවයට බැඳී ඇත්තේ උප සේවා උපපොලිස් පරික්ෂකවරයකු වශයෙනි.‍
පාසල් අවධියේ සිටම මෙම නිවුන් සහෝදරයන් දෙදෙනා ක්‍රීඩාවට දස්කම් දක්වා ඇත. මේ දෙදෙනාගේ වැඩිමහලු සහෝදරයා වන ප්‍රේචන්ද්‍ර පෙරේරා මහතා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටියදී මියගොස් ඇත.  සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වමෙම නිවුන් සොහොයුරන් දෙදෙනා  මොනරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.  ආර්.ඒ.ඩී. පෙරේරා මහතා සහ ඩබ්ලිව්. ජී.ඒ. සෝමාවතී මහත්මිය මෙම නිවුන් සොහොයුරන් දෙදෙනාගේ මවුපියන්ය.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය (ලංකාදීප)-