ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව දැනුවත් කිරිම සඳහා කොළඹදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ලාෆ්ස් අධිපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා මෙසේ පැවසීය.  



“පිරිවැය වැඩි වීමට සාපේක්ෂව සිල්ලර මිල වැඩි කිරීමට අපිට යම්කිසි බාධාවක් ඇති වුණා. පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කරලා තිබුණ නිසා අපිට අවසර ගන්න සිදුවුණා. නමුත් විවිධ හේතු නිසා පාරිභෝගික අධිකාරිය අවසර දුන්නේ නෑ. මේ තත්වය යටතේ ගැස් සමාගම් විශාල අලාභ ලබන තත්ත්වයකට පත්වුණා. පසුගිය වසර තුන තුළ කුඩා  ප්‍රමාණයෙන් ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලුවත් එයට ඉඩක් ලැබුණේ නැහැ. එදා එයට ඉඩ ලැබුණා නම් අද මේ තරම් මුදලකින් වැඩි වෙන්නෙත් නැහැ.

ගෑස් හිගය ඇති වෙන්න ප්‍රධාන හේතු තමයි ද්‍රවශීලතාව සහ ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නැතිකම. ඉදිරියේදී මහ බැංකු අධිපතිවරයා එයට විසඳුමක් දෙයි.  ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වෙනස් වීම අනුව මින් ඉදිරියට ගෑස් මිල ඉහළ හෝ පහළ යෑම තීරණය වෙනවා. අපි විශ්වාස කරනවා ශීත ඍතුවේ අවසානය වනවිට ජනවාරි, පෙබරවාරි වනවිට මිල අඩු කිරිමේ හැකියාවක් අපිට ලැබෙයි කියලා.  2014 සිට 2018 වසර දක්වා අට වතාවක් මිල අඩු කළා. අවස්ථා තුනකදී පමණයි මිල වැඩි  කළේ. මෙහිදී පාරිභෝගිකයො හිතනවා ඇති  මේ අසාධාරණ මිල වැඩි කිරීමක් කියලා.  ඇත්තටම සමාගම් විදියට මේ අවස්ථාවේදී  ලාභත් නැතුව අලාභත් නැතුව පවත්වාගෙන යෑමේ මිලක් තමයි මේ නියම කරලා තියෙන්නේ.

පාලන මිල ඉවත් කරලා වෙළෙඳපොළ හැසිරීම අනුව මිල තීරණය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සඳහා ඉඩ ලබාදුන් ජනාධිපතිතුමාට, මුදල් ඇමැතිතුමාට මෙන්ම පාරිභෝගික කටයුතු ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා.  ලෝක වෙළෙඳපොළේ මිල වෙනස් වන ආකාරයට මිල නැවත වතාවක් සංශෝධනය  කරන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට සෑම මසකට වරක්ම මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සිදු වෙනවා. ගෑස් සමාගම් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමට තමයි අපි උත්සහ කරන්නේ.”