saman-wijesiri
කෝටි 100 කට ආසන්න වටිනාකමැති දේපළ ලබා ගැනීම සඳහා මිතුරන් දෙදෙනෙකු විසින් ඝාතනය කළ බව කියන හලාවත ඉනිගොඩවෙල පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරි (63) මහතාගේ සිරුර සොයා හලාවත කුරුඳුවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වැසිකිළි වළක් හාරා පූර්ණ සෝදිසියකට ලක් කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.  වැසිකිළි වළ පුර්ණ සෝදිසියකට ලක් කළත් මළසිරුර හෝ එහි ඇට කැබලි හෝ සොයා ගැනීමට නොහැකිවූ බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.   කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළේ යැයි කියන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජෙයරාජ් ලින්කන් නමැත්තාට අයත්ව තිබී පසුව වෙනත්  පුද්ගලයකුට විකුණා දැමු නිවසක වැසිකිළි වළක් මෙසේ රහස් පොලිසිය සෝදිසි කර ඇත.

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස්  පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත මෙම වැසිකිළි වළ සෝදිසියට ලක්කර තිබෙන බව කියති.


වැසිකිළි වළේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර නොතිබූ නිසා හලාවත කලපු ප්‍රදේශය නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් යොදවා ළඟදීම සෝදිසි කිරීමට රහස් පොලිසිය කටයුතු යොදාගෙන යයි.  මීට වසර 3 කට ඉහතදී ඝාතනය කෙරුණු  කෝටිපති ව්‍යාපාරිකයා වරලත් ඉංජිනේරුවරයෙක් මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු  ලෙසද සේවය කර ඇත. සමන් විජේසිරි මහතාගේ ඝාතනයට  සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ජෙයරාජ් ලින්කන් නමැත්තා වසර 30 කට ආසන්න කාලයක් ඉතාලියේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ සිටි අයෙක් යැයි  පොලිසිය කියයි.  ඔහුගේ බිරිඳ හා දරු තිදෙනා තවමත් ඉතාලියේ ජීවත් වන බව කියති. ලින්කන් නමැත්තාට සහෝදරයන් 05  දෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා යුරෝපීය රටවල ජීවත් වන බවත් ඔහුගේ මව වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් ජීවත් වන බවද  දැන ගැනීමට ඇත.



කෝටිපති ව්‍යාපාරික ඉන්ජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජෙයරාජ් ලින්කන්, දෙවැනි  සැකකරු ලෙස සැලකෙන රූබන් චන්දන, කෝටිපතියාගේ ඥාතියෙකු බව කියන නිහාල්  දේවප්‍රිය නමැත්තා හලාවත මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව 30 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ තිබුණි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්  නීතිඥයකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

 -ශ්‍රීනාත්  ප්‍රසන්න ජයසූරිය (ලංකාදීප)- 

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
කෝටිපති ඉංජිනේරුවා මරා හංගා දින වෙනස්කරගෙන වත්කම ලියාගත් ඝාතකයින්