chathu-munasinghe-dies

පිළිකා රෝගයට ගොදුරූ වූවෙකු ලෙස පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ විශේෂ ලෙසින් කථාබහට ලක්වූ 34 හැවිරිදි චතු මුණසිංහ නමැති නිරූපණ ශිල්පිණී ව්‍යවසායිකාව ඊයේ මෙලොව හැරගිය බව සංවේගයෙන් වාර්තා කරන්නට සිදුවේ.
ධනාත්මක සිතිවිලි කථිකාචාර්යවරියකද වූ ඇය පිළිකා රෝගීන්ගේ මානසික සුවතාවය සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනුවත් කිරිමට කටයුතු කළාය.දරු දෙදෙනෙකුගේ මවක ද වු
චතූ මුණසිංහ ඇගේ පිළිකා ලක්ෂණ හඳුනාගන්නට ලැබී මාස 11 ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස සමුගත්තාය.


‘ මම පිළිකා රෝගයෙන් පෙලෙන බවට පළමුව දැන ගත්තේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදී. පළමුවෙන්ම මට ඇතිවුනේ ආහාර අරුචියක්. මගේ ස්වාමිපුරුෂයා බැන්නා මම ඩයට් කරනවා කියලා. මට ඒ එක්කම කොන්දේ අමාරුව, වගේම ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවුණා. ඒ එක්කම මම මගේ පවුලේ වෛද්‍යවරයා හමුවුනාම ඔහු මාව යොමු කලේ CT ස්කෑන් පරීක්ෂණයකට. එහිදී තමයි මට පළමුවෙන්ම හඳුනා ගත්තේ මට අග්න්‍යාසය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් කියලා. එය ලෝකේ දරුණුම වර්ගයේ පිළිකාවක්. නමුත් අවාසනාවකට මගේ පිළිකාව පැතිරිලා ගිහින් නිසා ශල්‍යකර්මයක් කරන්න හැකියාවක් නැහැ කියලයි වෛද්‍යවරුන් කිව්වේ.‘
ඇය ළහිරුගේ යූටියුබ් නාලිකාවට ප්‍රකාශ කර තිබුණි.
පිළිකාව සම්බන්ධ තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමත් අන් අය දැනුවත් කිරීමටත් ඇය මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස කටයුතු කළ අතර විශේෂ ප්‍රසාදයටද ලක්විය.
ඇගේ සුන්දර පෙනුම මෙන්ම සිත්ගන්නා කථා විලාසය නිසා ඇයගේ පණිවිඩ කෙරෙහි කාගේත් අවධානය යොමු විය.

‘මම කඩන් වැටුනා.. නමුත් මම කවදාවත් ඇහුවේ නැහැ දෙවියන්ගෙන් ඇයී මට මෙහෙම උනේ කියලා. පිළිකාවක් හැඳුනා කියලා දැනගත්තම රෝගියා විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ සියලුදෙනාම අත්හරිනවා. එය ඒ තරම් හොද දෙයක් නෙමේ. මටත් ඒ දේ උනා. මගේ හොද වෙලාවට මගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක හිටියා. අන්තිමේදී අපි තීරණය කළා මට පිළිකාවක් කියලා දැන ගත්තම අපේ ඥාතීන් මාව බලන්න එන්න පටන් ගන්න අයව නතර කරන්න.‘



ඇය සාකච්ඡාවේදී කියා සිටියාය. පිළිකා රෝගී තත්ත්වය හමුවේ මානසිකව බිඳ නොවැටී ජිවිතයට මුහුණදීම සම්බන්ධයෙන් ඇය කියූ කරුණු එම රෝගයට ලක්වූ බොහෝ දෙනෙකුට ශක්තියක් විය.

පිළිකා රෝගයට ගොදුරුව සිටියදීම ඇය මිට මාස කිහිපයකට පෙර කොවිඩ් -19 වෛරසයට ගොදුරු වූ අතර පසුව ඉන් සුවය ලැබ තිබිණ.

‘මගේ මහත්තයා හරිම හොද කෙනෙක්. එයා තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ. එයා තමයි ලිප්ස්ටික් ඇතුළු හැමදේම ගෙනල්ලා දෙන්නේ. එයා තමයි මාව සැලුන් එකට යවන්නේ.
මට දුක මගේ පොඩි දුව ගැන. මගේ ලොකු දුවට අවුරුදු 15ක්, එයාට මාත් එක්ක ඉදලා තියෙනවා කාලයක්. නමුත් මගේ පොඩි දුවට අවුරුදු 5ක් විතරයි වයස. මට එයාව දාලා යන්නයි දුක..’
ඉතා ධෛර්ය සම්පන්න තරුණියක් වූ ඇය අවසානයේදී පිළිකා රෝගය නිසා ජිවිතයෙන් සමුගත්තාය.