covid-deaths-pregnent-women

කෝවිඩ් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ගර්භණී මවුවරුන් 56දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බවත්, එසේම 8,500දෙනෙකුට මේ දක්වා කෝවිඩ් ආසාදිතව ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේය. එසේම කෝවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් නිවෙස් ප්‍රතිකාර සේවාවට තවදුරටත් යටත් නොකර ඔවුන් රෝහල්ගත කිරීමට තීරණය කළ බවද එම කාර්යාංශය පැවසීය.

එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ,

පවතින තත්වය අනුව මේ තීරණය ගත් බවයි. මෙම එස්ම කෝවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් වාර්තා වීමද මේ වනවිට පහළ මට්ටමක පවතින බව අධ්‍යක්‍ෂවරිය වැඩිදුරටත් පවසා සිටියාය. මේ අතර, ගර්භණී මවුවරුන් සඳහා කෝවිඩ් මර්දන එන්නතෙහි තෙවැනි මාත්‍රාවක් ලබාදීමට බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කර ඇති බවත්, ඒ අනුව ඉදිරි වසර 02ක කාලය තුළ අවශ්‍යතාව මත අදාළ මවුවරුන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිත බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය  පැවසීය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී එම විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඊට අදාළ නිර්දේශ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුවට භාරදී ඇති බවයි. ඒ අනුව මේ වනවිට ගර්භණී වී සිටින මවුවරුන්ට මෙන්ම ඉදිරි වසර 02ක කාලය තුළදී ගර්භණීභාවයට පත්වන මවුවරුන්ටද මෙම තෙවැනි මාත්‍රාව ලබාදෙනු ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(නිදර්ශනී වික්‍රමසිංහ)